Thursday, January 24, 2013



පුවත්පත් මාධ්‍යයේ මං සලකුණු...

            ලොව පැරණිතම ජන මාධ්‍ය ලෙස සැලකෙන්නේ පුවත්පතයි. මෙය බොහෝ ජනකායක් වෙත ළඟා වූ ප්‍රථම සන්නිවේදන ක්‍රමයයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මාධ්‍ය වශයෙන් හඳුන්වනු ලබයි.  ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අර්ථවත් කරන්නේ මහජනයා හා පුවත්පත් අතර පවතින අන්‍යෙන්‍ය සම්බන්ධතාවය යි. 17 වන ශතවර්ෂයේ සිට මේ වන තෙක්ම මුද්‍රිත සන්නිවේදනයේ ප්‍රමුඛස්ථානය බවට පුවත්පත පත්ව ඇත. පුවත්පත් මාධ්‍යයේ ඉතිහාසය ක්‍රි.පු. 59 දක්වා අතීතයට දිව යයි. බටහිර රටවල මෙන් ම ආසියාතික රටවල ද පුවත්පත් මාධ්‍යයේ  වැදගත් සන්ධිස්ථාන හඳුනා ගත හැකිය.
            පුවත්පත් ඉතිහාසයේ ප්‍රමුඛයන් බටහිර රටවල් ය. බටහිර පුවත්පත් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන හඳුනාගත හැකි අතර වර්තමානයේ පුවත්පත් මාධ්‍යයේ සංවර්ධනය සඳහා මෙම සන්ධිස්ථානය වැදගත් විය. විශේෂයෙන්ම ආරම්භක යුගයේ පුවත්පත් මාධ්‍යයේ පැවැති විවිධ සීමා බලපෑම් ජය ගැනීම සඳහා සටන් කළ පුරෝගාමියො බටහිර පුවත්පත් වේදීන්ය. එකළ රෝමයේ ප්‍රකාශයට පත් කෙරැණු  ඇක්ටා ඩයුර්නා (Acta Durna)නම් පුවත් විස්තර පත්‍රිකාව පුවත්පත් මාධ්‍යෙය් මූලික අවස්ථාව සනිටුහන් කරයි. ජුලියස් සීසර්ගේ ආඥාවක් මත නගරය පුරා බෙදා හැරීම සඳහා මෙම පුවත් පත්‍රිකාව නිකුත් කර ඇත. ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වැදගත් වන දිනපතා සිදුවීම් (Daily Events) යන අදහස ඩියුරනා යන්නෙන් අදහස් කරයි.
            මුද්‍රිත පුවත්පත් ඉතිහාසය තුළ හමුවන ඇතැම් සන්ධිස්ථාන එකළ සමාජය තුළ පැන නැගුණ‍ ප්‍රබෝධජනක  මිනිස් අත්දැකීම් පාදක කොටගත් ඒවාය. යුරෝපයේ පුනරුද සමයේ අතින් ලියන ලද (In Renaissance Europe) පුවත්, කසුන් වෙළඳුන් අතර අප්‍රකටව හුවමාරු විය. එකළ යුරෝපය පුරා පැතිරී තිබුණු යුධ හා ආර්ථික තොරතුරු මෙන්ම සමාජ සිරිත් විරිත් හා මිනිස් රුචි අරුචිකම් ද මේවායේ අන්තර්ගත වී තිබුණි.
            පුවත්පත් මාධ්‍යයේ පැවැත්ම තහවුරු කළ සන්ධිස්ථානය වූයේ මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමයි. ක්‍රි.ව 1440 දී පමණ ජොහැන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමෙන් පසුව ප්‍රථම මුද්‍රිත පුවත්පත ජර්මනියෙන් නිකුත් විය. මෙම පුවත්පතෙහි අන්තර්ගතය උද්වේගකාරී වු අතර පුවත් පත්‍රික (News Pamphlets) හෝ සාමාන්‍ය පත්‍ර වල ස්වරෑපයෙන් (Broadsides) යුක්ත විය.

 

 
             මෙම කාල සීමාව තුළ පුවත්පත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම රාජ්‍ය විරෝධි කටයුත්තක් විය. ජර්මනිය, යුරෝපය,  බ්‍රිතාන්‍ය වැනි රටවල මෙවැනි ක්‍රියාවන් සඳහා දැඩි දඩුවම්  පැමිණවිය. රෝම අධිරාජ්‍ය සමයේ ප්‍රවෘත්ති බෙදා හැරීම ගිහි පැවිදි දෙපාර්ශවයේම බලධාරින් ගේ දැඩි පාලනයට යටත් විය. දේශපාලනික වශයෙන් පැවැති බලපෑම මෙම සීමා කිරීම් වලට සෘජුවම බලපෑවේය. මෙම දේශපාලනික වාතාවරණය වෙනස් කිරීමට වසර 150 කටත් වඩා වැඩි කාලයක් ගත විය. ඒ වන තෙක්ම පුවත් පත් පළ කිරීමේ නිදහස උදෙසා රාජකීයන් සමඟ සටන් කිරීමට මුද්‍රණ ශිල්පීන්ට සිදු විය. මෙම කාලය තුළ පුවත්පත් මුද්‍රණය හා බෙදා හැරීම දඩුවම් ලැබිය හැකි වරදක් විය. උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ මුල්ම ඉංග්‍රිසි ජාතික මුද්‍රණය ශිල්පියා වූ විලියම් කැක්ස්ටන් 1476 දි තම මුද්‍රණාලය වසර 50 ක්  එය පවත්වාගෙන යාමට හැකිවීමට හේතුව වූවේ එම මුද්‍රණාලය තුළ පුවත්පත් මුද්‍රණය නොකිරීමයි. එංගලන්තයේ IV වන හෙන්රි පාලන සමයේ (1534) පුවත්පත් ප්‍රසිද්ධ කිරීම දැඩි ලෙස පාලනයට ලක් කර ඇත. බ්‍රිතාන්‍ය තුළ වසර 100 කට අධික කාලයක් මෙම පාලනය පැවතිණි. කිරීටයේ ආධිපත්‍යට අවනත නොවූ සමහරු සිර ගත කළ අතර තවත් අය එල්ලුම් ගසට පවා නියම විය.
            ආකෘතිය හා ශෛලිය අතින් පරිපුන් සැබෑ ඉංග්‍රිසි පුවත්පත වූයේ ඔක්ස්ෆර්ඩ් ගැසට් (Oxford Gazette) නමින් පළ වූ පුවත්පතයි. මෙය 1666 එවකට ඉංග්‍රිසි රාජධානිය පිහිටි ඔක්ස්ෆර්ඩ් හිදි පළමු වරට මුද්‍රණය විය. මෙහි පළමු වරට  තීරු දෙකේ ක්‍රමය (Double Colman) ක්‍රමය භාවිතා විය. 17 වන සියවස් අවසානය වන විට බොහෝ වාර සංග්‍රහ මුද්‍රණය කළ ද පරම්පරාවක් තුළ නිළ වශයෙන් අනුමත වූ ඒකම පුවත්පත ඔක්ස්ෆර්ඩ් ගැසට් පුවත්පතයි. 1665-1702 කාලය තුළ ඉංග්‍රසී මුද්‍රණ ශිල්පීහු අවසර පත්‍රයක් නොමැතිව පත්‍ර ප්‍රසිද්ධ කිරීමේ නිදහස ඇතුළුව අයිතීන් රාශීයක් දිනා සිටියහ. 1702 දී පළමු වන දිනපතා ප්‍රවෘත්ති පත්‍රය ඩේලී කෝපන්ට් නමින් පළවීම මෙහි වැදගත් සංධිස්ථානයකි.
            15 වන සහ 16 වන සියවස් වල අසංවර්ධිතව පැවැති පුවත්පත් මාධ්‍ය 18 වන සියවස වන විට සංවර්ධිත මට්ටමට යම්තාක් දුරට හෝ ළඟා වීමට හැකි විය. 18 වන සියවස තුළ මෙය වෙළදපොළ භාණ්ඩයක් බවට පත් විය.  ඇමරිකාව, එංගලන්තය වැනි රටවල මෙන්ම ආසියානු රටවල ද පුවත්පත් සඳහා  වෙළඳපළක් බිහි විය. අලවිකරණ මුලයන් (Market Elements) ජනිත කළ සියවසක් ලෙස මෙය හඳුන්වයි. මෙම තත්වය සඳහා එකල සමාජයේ විවිධ සාධක හේතු විය.
·         ලිවීමේ හා කියවීමේ හැකියාව වර්ධනය වීම
·         නාගරීකරණය
·         සාහත්‍යමය හා දාර්ශනික සම්ප්‍රධායන් හි ප්‍රබෝධය
·         ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රවනතා
·         තාක්ෂණික ක්‍රම
ආදී බොහෝ සාධක මෙම සියවසේ පුවත්පත් නිෂ්පාදනයේ සංවර්ධනයට හේතු විය.
            1690 ඇමරිකාවේ ප්‍රථම පුවත්පත (Public Occurrences) නමින් පළ විය. එහෙත් මෙය අනවසර මුද්‍රණයක් නිසා සියළුම පිටපත් විනාශ කර දමා ඇත. මෙම අවධියේ දී පුවත්පත් මුද්‍රණය හා බෙදා හැරීම සඳහා පැවැති පාලනය තරමක් දුරට ලිහිල් කොට තිබිණි. සෑම පුවත්පතකම පළ කිරීම සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය වූ අතර එසේ නොමැති පුවත්පත් විනාශ කර දැමීමට රාජ්‍යයන් කටයුතු කර ඇත. ඇමරිකාවේ ප්‍රථම සාර්ථක පුවත්පත වූයේ John Cambell නම් තැපැල් ස්ථානාධිපතිවරයාගේ Bosten-News - Letter නම් පුවත් පතයි. මෙවැනි බොහෝ සන්ධිස්ථාන බටහිර රටවල පුවත්පත් ඉතිහාසය තුළ හඳුනාග හැකිය. ලොව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ක්‍රියාකාරීත්වය තුළින් ජන සමාජයක පැවැත්ම සඳහා පුවත්පත් මාධ්‍ය තුළින්  සුවිශේෂි මෙහෙවරක් ඉටු කරයි.
            "පුවත්පත් නොමැති රජයක් තිබිය යුතුය. නැතහොත් රජයක් නොමැති පුවත්පතක් තිබිය යුතුය. යන දෙකෙන් එකක් තීරණය කිරීමට මා හට සිදු වූව හොත් දෙවැනිව කී දෙය තෝරා ගැනීමට මා මොහොතක්වත් පසුබට නොවන්නෙමි."
-තෝමස් ජෙෆර්සන් 1787 -
            ඉහත ඇමරිකානු මතයට අනුව රාජ්‍යක පැවැත්ම සඳහා පුවත්පත් වල අවශ්‍යතාවය දැඩි ලෙස අවධානයට ලක් කර ඇත.
            ශ්‍රි ලංකාවේ පුවත්පත් මාධ්‍ය ආරම්භ වන්නේ 1737 දී මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදීමෙන් පසුවය. ලන්දෙසි යුද්ධායුද ගබඩාවේ මෙම අච්චු කන්තෝරැව පිහිටුවා තිබිණි. 1737 අප්‍රේල් 5 වන දින සිංහලයෙන් මුද්‍රිත ප්‍රථම ලේඛනය මෙම කන්තේරැව හරහා නිකුත් කෙරිණි. මෙම ලියවිල්ල ලන්දේසි නියෝග ඇතුලත් "පැලැකටි" නැමැති දැන්වීම් පත්‍රයකි. ලන්දේසී විසින් මුද්‍රණ ක්‍රමය ලංකාවට හඳුන්වා දී ඇත්තේ ආඥා පත්‍ර අතින් ලිවීම වෙහෙස කර කටයුත්තක් නිසා ඊට පිළියමක් වශයෙනි. මෙම මුද්‍රණාලය මඟින් මුලින්ම නිකුත් කරන ලද සිංහල පොත වශයෙන් සැලකෙන්නේ ලන්දේසි ආඥා පොතයි. 1737 දි මුද්‍රණය වු මෙහි අරමුණ වූයේ ක්‍රිස්තු ධර්මය රට පුරා ප්‍රචලිත කිරීමයි. 1802 මාර්තු 15 වන දින ඉංග්‍රිසි ආණ්ඩුවේ නිළ ප්‍රකාශය වශයෙන් ගැසට් පත්‍රය The Ceylon Government Gazete නිකුත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යයේ වැදගත් සන්ධිස්ථානයක් 1978 දි සිදුවිය. එනම් ඉංග්‍රිසින් විසින් ලන්දේසි  පලවා හැර පාලන බලය අත් කර ගැනීමයි. ඉංග්‍රිසි බලය ව්‍යාප්ත පැවැති කාල සීමාව තුළ ලංකාවේ පළ වුණු පළමු පුවත්පත වන්නේ 1802 මාර්තු15 දා පළ වූ Colombo Journal පුවත්පතයි.
1860 සැප්තැම්බර් 10 දින ලංකාලෝකය නමින් ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත පළ විය. එහෙත් මෙම පුවත්පත රජයේ ලියාපදිංචි කර නොතිබිණි. ඒ අනුව රජයේ ලියාපදිංචි කළ පළමු සිංහල පුවත්පත වශයෙන් සැලකෙන්නේ 1864 සැප්තැම්බර් 11 දා පළ වූ ලක්මිණි පහන පුවත්පතයි.  මේ අනුව බලන විට ලංකාවේ පුවත්පත් මාධ්‍ය ශතවර්ශයකට වඩා පැරණිය. ලක්මිණි පහන පුවත්පත මූලික තැන වී තිබුණේ එකළ ලංකාවේ මහ රැජිනිය වු බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිනියගේ ගමන් බිමන්, සංචාරකයන්, හා වෙළඳ ද්‍රව්‍ය මිල ගණන් ආදිය සඳහා ය.

            මෙම වකවානුව තුළ පළ කෙරුණු පුවත්පත් වල සුවිශේෂිත්වය වන්නේ ප්‍රධාන අරමුණු ආගමික ප්‍රචාරණය වීමයි. එකළ පැවැති රෝමානු කතෝලික ආගම ජනයා අතරට ගෙන යාමේ එක් මාර්ගයක් ලෙස පුවත්පත් භාවිතා විය. අරුණෝදය (1984), රැවන්මල්දම (1966), ඥානාර්ථ ප්‍රදීපය (1866), සත්‍යාලංකාරය (1873), මෙවැනි පුවත්පත් කිහිපයකි. ඥනාර්ථ ප්‍රදීපය ශතවර්ශයකට අධික කාලයක් පළ වූ ප්‍රථම පුවත්පතයි.
ලංකාවේ පළ වූ ප්‍රථම කවට පුවත්පත, 1872 ජනවාරි 1 දින ජී.ඩී. පෑලිස් අප්පුහාමිගේ සංස්කරණයෙන් යුතුව පළ වූ කවට කතිකයා පුවත්පතයි. මින් කලකට පසු කනමැදිරිය (1876), ලංකා කවටයා (1880), කවට දක්ෂයා (1883), කවට සංග්‍රහය (1883), කවට අජනම (1883), දැනුමැති කවටයා (1885), වැනි කවට පුවත්පත් රාශියක් පළ විය.
            1895 දී ලංකාවේ ප්‍රථම දිනපතා ප්‍රවෘත්ති පත්‍රය පලවිය. මෙය සී.දොන් බර්නියන්ගේ සංස්කරණයෙන් දිනපතා ප්‍රවෘත්ති නමින් පල විය. බෞද්ධ ධර්මය ප්‍රචලිත කිරීම සඳහා ද එවකට විසු පඩිවරුන් විසින් පුවත්පත්පත් පළකිරීමට කටයුතු කර ඇත. 1906 දී  අනගාරික ධර්මපාල තුමා මුලික වී පළ කළ සිංහල බෞද්ධයා පුවත්පත වසර 60 කට අධික කාලයක් පැවැති බෞද්ධාගමික පුවත්පතයි. දිණමින  පුවත්පත  සිංහල පුවත්පත් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. මෙය ආරම්භයේ සිට මේ වන තෙක්ම පැවැති ප්‍රසිද්ධ දිනපතා පුවත්පතයි. 1909 දි ඇරඹුණු මෙහි ආදී කතෘ වරයා දක්ෂ පත්‍ර කලාවේදියකු වු එච්. එස්. පෙරේරාය. ඉන් කලකට පසු 1930 සිළුමිණ පුවත්පතද, 1947 දි ලංකාදීප පුවත්පතද ආරම්භ විය.
            මේ ආකාරයේ විශාල පුවත්පත් සංඛ්‍යාවක් 1860 සිට මේ දක්වා පළ වී ඇත. අතීතයේ සිංහල පුවත්පත් හා බලන විට වර්තමානයේ කාලීන වශයෙන් වැදගත් පුවත් සඳහා මූලිකත්වය දි ඇත. ලංකාදීප, දිනමිණ, සිළුමිණ, රාවය, ලක්බිම, රිවිර, දිවයින වැනි වර්තමානයේ ජනප්‍රිය පුවත්පත් බොහෝමයක මෙවැනි කාලීන පුවත් අන්තර්ගතයක් හඳුනා ගත හැකිය. එසේම සාහිත්‍යම වටිනාකමකින් යුත් නිර්මාණය ඇතුළත් විශේෂාංග පළ විම වර්තමාන සිංහල පුවත්පත් මාධ්‍යයේ නව පිබිදීමක් වශයෙන් හඳුනා ගත හැකිය.



AR/58949
07/5407
R.D.M.Nileeka

No comments:

Post a Comment