Thursday, January 24, 2013



ශ්‍රි ලංකාවේ ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරිමට ගෙන ඇති විධි විධාන හා ජනමාධ්‍ය නිදහස              සම්බන්ධ සීමා


ජනමාධ්‍ය නිදහස වශයෙන් සරළව හඳුන්වනු ලබන්නේ මතයක් දැරිමට , ප්‍රකාශ කිරිමට, කිසිදු බාධාවකින් තොරව ලැබෙන අයිතියයි. ඒ අනුව ජනමාධ්‍ය නිදහස යනු මිනිසාගේ අයිතියකි. තවත් ආකාරයකින් දක්වන්නේ නම් ජන යනු ජනතාවයි. මාධ්‍ය යනු ජනතාව වෙත අදහස් තොරතුරු සන්නිවේදනය කරන මාර්ගයයි. මෙකි තොරතුරු සන්නිවේදනය බාධාවකින් තොරව සිදුකළ යුතු වේ. එනම් “ජනතාව වෙත අදහස් තොරතුරු සන්නිවේදනය කිරිමේදි රජයේ ආයතන වල මැදිහත් වීමෙන් තොරව මුද්‍රණය හා පළ කිරිමටද , විකාශනයටද අයිතිවාසිකම් පැවතිය යුතුය.
                        ඒ අනුව පැහැදිලි රජයේ ආයතන වල මැදිහත් වීමෙන් තොරව සන්නිවේදනය කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ජනමාධ්‍ය  නිදහස  කප්පාදු  වන බවයි. මෙම ජනමාධ්‍ය නිදහස සතු වන්නා වු පුද්ගලමය හා සමාජමය අගය පාදක කරගෙන විවිධ පුද්ගලයින් මාධ්‍ය නිදහස සම්බන්ධව අර්ථකතනයන් ඉදිරිපත් කර ඇත.
විලියම් බ්ලැක්ස්ටන් පවසන ආකාරයට මාධ්‍ය නිදහස යනු -:
“ සෑම මිනිසෙකුටම තමා කැමති මතයක් මහජනතාව අතර පතුරුවාලිමේ අයිතියක් ඇත. එය තහනම් කිරිම මාධ්‍ය නිදහස විනාශ කිරිමකි. නමුත් ඔහු නුසුදුසු පීඩාකාරි හෝ නිති විරෝධි යමක් ප්‍රසිද්ධ කරන්නේ නම් සහාසිකත්වයේ ප්‍රථිපල ඔහු විඳ ගත යුතුයි. ( රාජපක්ෂ , විජයදාස. 2000 ප්‍රථම මුද්‍රණය , මාධ්‍ය නිදහස  හා වගකිම, පිටුව 64 )
      මෙම නිර්වචනයට අනුව මාධ්‍ය නිදහස මිනිසාගේ අයිතිවාසිකමකි. එය තහනම් කිරිම මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරිමකි. නමුත් මාධ්‍ය නිදහස සම්බන්ධව යම් යම් සීමාවන් පවති. එම සීමා ඉක්මවාලිම දඩුවම් ලැබිය හැකි වරදකි.
               මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රඥප්තියේ “19 වන වගන්තියේ මාධ්‍ය නිදහස යනුවෙන් සඳහන් වන්නේ
නිදහස්ව සිතිමේ සහ ප්‍රකාශනයේ අයිතිය සියලු දෙනා සතුවේ. බාධාවකින් තොරව මතයක් දැරිම මෙන්ම ඕනෑම මාධ්‍යක් ඔස්සේ කිසිදු සීමාවකින් තොරව අදහස්  හා තොරතුරු ගවේෂණය කිරිමේ, ලබා ගැනිමේ හා බෙදා හැරිමේ අයිතිය ඊට අන්තර්ගත වේ. (රාජපක්ෂ,විජයදාස. 2000 ප්‍රථම මුද්‍රණය ,   ජනමාධ්‍ය නිදහස හා වගකිම, පිටුව 64 , රත්න පොත් ප්‍රකාශකයෝ,)
             මාධ්‍ය නිදහස භුක්ති විඳිම සෑම රටකම සෑම පුද්ගලයකුම සතු අයිතියකි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් නොපිළිගත් රටක වුවද මාධ්‍ය නිදහස භුක්ති විඳි‍මේ අයිතිය මිනිසාට හිමිවිය යුතුය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදි රටවල නම් මෙය අනුඋල්ලංඝණිය අයිතියකි. එයට හේතුව මහජන කැමැත්ත හා මතය මතු කිරිම , සාමූහිත මත මතු කිරිම , මහජනයා දැනුවත් කිරිම, හා තොරතුරු සැපයිමට නිදහස් මාධ්‍යන් අවශ්‍ය විමයි.
             නමුත් ලෝකයේ සෑම රටක් තුළම එකම ආකාරයේ මාධ්‍ය නිදහසක් ක්‍රියාත්මකද යන්න ගැටලුවකි. ෆ්‍රිඩම් හවුස්” නම් ආයතනය ලොව රටවල් මාධ්‍ය නිදහස භුක්ති විඳින අයුරු පහත පරිදි දක්වා ඇත.
1.      පුර්ණ මාධ්‍ය නිදහස භුක්ති විඳින රටවල් - ලෝක ජනගහනයෙන් 21% භුක්ති විඳි.
2.      අර්ධ  මාධ්‍ය  නිදහස භුක්ති විඳින රටවල් - ලෝක ජනගහනයෙන් 21% භුක්ති විඳි.
3.      මාධ්‍ය නිදහස කිසිසේත්ම නොමැති රටවල් - ලෝක ජනගහනයෙන් 42% මාධ්‍ය නිදහස භුක්ති නොවිඳි
(රාජපක්ෂ , විජයදාස. 2000 ප්‍රථම මුද්‍රණය , මාධ්‍ය නිදහස හා වගකිම,පිටුව 13, රත්න ප්‍රකාශකයෝ.)
        ලෝකය තුළ මාධ්‍ය නිදහස ඒ අයුරින් ක්‍රියාත්මක වන විට ශ්‍රි ලංකාව තුළත් මාධය නිදහස ආරක්ෂා කිරිමට විවිධ විධි විධාන ගෙන ඇත.ශ්‍රි ලංකාව, එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමාජිකත්වය දරණ රටක් බැවින් එක්සත් ජාතින්ගේ සංවිධානය මාධ්‍ය නිදහස හා අනෙකුත් අයිතින් සුරක්ෂිත කිරිමට ගෙන ඇති ගිවිසුම් අත්සන් කිරිම හරහා මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරිමට කටයුතු කර ඇත.
v  මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය. (19 වගන්තිය ) ( UDHR)
v  සිවිල් හා දේශපාලන අයිතින් පිළිබඳ සම්මුතිය.
v  ආර්ථික හා සමාජීයිය අයිතින් පිළිබඳ සම්මුතිය.
          වැනි ගිවිසුම් වලට අත්සන් කර ශ්‍රි ලංකාව තුළ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
          1948 වන තෙක්ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අප රටට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ඩොමිනියන් නිදහස හිමිවිය. එකී අර්ධ නිදහස පූර්ණ නිදහසක් බවට පත් කරවාලමින් 1972 දි  ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත්විය. ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට මුල් වරට අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කරනු ලැබුවද එහි විවිධ දුර්වලතා පැවතිණ. එම දුර්වලතා මග හරවාලමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික මානව අයිතිවාසිම් නන්වැදැරුම් නිදහස හා ඒවා කඩ වූ විට ආරක්ෂා කර ගනු ලබන විධි විධාන ඇතුළත් පරිච්ඡේදයක් ඇතුළත් කරන ලදි.
       1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ(3) 10 වන වගන්තියේ සිට 17 වන වගන්තිය දක්වා මූලික මානව අයිතිවාසිකම් හා ඊට අදාළ විධි විධාන දක්වා ඇත. 10 සිට 14 දක්වා ජනතාවට හිමි මුලික අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස දක්වා ඇත. “15 – 16” වගන්ති මගින් දක්වා ඇත්තේ අයිතිවාසිකම් නිදහස භුක්ති විඳිය යුතු සිමාවන්ය. 17 වන වගන්තිය මගින් අයිතිවාසිකම් කඩ වු විට එය ආරක්ෂා කර ගනු ලබන ආකාරය දක්වා ඇත.  මෙහි 10 වන වගන්තියේ සිට 14දක්වා වගන්ති අතුරින් මාධ්‍ය නිදහස හා සම්බන්ධව පහත වගන්ති ඉතා වැදගත්වේ.
     10 වන වගන්තියෙන් කියවෙන්නේ
           සෑම දෙනාටම තමන් කැමති ආගමක් වැළඳ ගැනිමටත්, ඇඳහිමටත්, විශ්වාසයක් දැරිමටත්, නිදහස ඇත. එසේම හෘද සාක්ෂියේ නිදහසට හා ආගමික නිදහසටද හිමිකම් ඇත.
 ඒ වගේම 14  වගන්තියද  ඉතා වැදගත්ය.  එයින් කියවෙන පරිදි
          සෑම දෙනාටම භාෂණයේ, ප්‍රකාශනයේ හා අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස ඇත. ඕනෑම තැනක යාමට ඒමට හා කැමති ස්ථානයක පදිංචි විමට තම සංස්කෘතිය භුක්ති විදිමට රැකියාවක නියුතු විමට හා ව්‍යාපාරයක යෙදිමට ශ්‍රි ලංකාවෙන් බැහැර විමට හා නැවත ඒමට අයිතියක් ඇත.                                             ( රාජපක්ෂ , විජයදාස. 2000 ප්‍රථම මුද්‍රණය, පිටු 65-66,  රත්න පොත් ප්‍රකාශකයෝ,)              
 මෙලෙස අයිතිවාසිකම් පරිච්ඡේදය තුළට මාධ්‍ය නිදහස සම්බන්ධ කරුණු ඇතුළත් කොට මාධ්‍ය නිදහස තහවුරු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙලෙස මිනිසාට සිය අයිතින් යටතේ මාධ්‍ය නිදහස ලැබුණද මෙම අයිතින් යම් යම් කරුණු මත විවිධ සීමාවන්ට ලක්වේ. එලෙස සීමාවන්ට ලක්වීම මාධ්‍ය නිදහස හෝ මිනිස් අයිතින් උල්ලංඝණය විමක් නොවේ. මිනිසාට සිය අයිතින් අසීමාන්තික ලෙස භුක්ති විඳිමේ හැකියාවක් නැත. එසේ වුවහොත් සිදුවන්නේ අන්‍යන්ගේ අයිතින් වලට නිදහසට බාධා පැමිණවිමයි. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදි රටවල අයිතිවාසිකම් භුක්ති විදිය යුතු සීමාවන් දක්වා ඇත.
      ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද අයිතිවාසිකම් භුක්ති විඳිය යුතු සීමා දක්වා ඇත. ඒ අනුව 14 (1) වගන්තිය සම්බන්ධව 15(2) වගන්තිය මගින් විවිධ සීමාවන් පනවා ඇත. ඒ අනුව 14 වන ව්‍යවස්ථාවේ(1) වන අනු ව්‍යවස්ථාවේ (අ)ඡේදය, මගින් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විදිම හා ක්‍රියාත්මක විය යුත්තේ වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරිම සඳහා හෝ පර්ලිමේන්තු වරප්‍රසාද,අධිකරණයට අපහාස කිරිම,අපහාසය හෝ වරදකට පෙළඹවිම , සම්බන්ධව නිතියෙන් නියම කරනු ලබන සීමාවන්ට යටත්වය වගේම “15(7)” වගන්තියෙන් පෙන්වා දි තිබෙන්නේ “14” වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති සියලුම අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේ මහජන ආරක්ෂාව හා රාජ්‍ය ආරක්ෂාව ඇති කිරිම සදහා ඇති සියලුම විධිවිධාන යන්ට යටත්ව බවයි. ඒ අනුව අදහස් ප්‍රකාශ කිරිම වැනි කටයුතු වලදි ඉහත සීමාවන්ට යටත්ව සිදුකල යුතුයි. මෙය ජනමාධ්‍ය නිදහස සම්බන්ධව පවතින අයිතීන්ටද සෙසු අයිතීන්ටද පොදු වේ.(රාජපක්ෂ විජයදාස , 2000 ප්‍රථම මුද්‍රණය, මාධ්‍ය නිදහස හා වගකිම, පිටු 65-66, රත්න පොත් ප්‍රකාශකයෝ ,)
            නමුත් මෙම සීමාවන්ට පරිබාහිරව පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කඩ වන්නේ නම් එය අයිතිවාසිකම් කප්පාදු විමක් ලෙස දැක්විය හැක. ජනමාධ්‍ය නිදහස සම්බන්ධව එය සිදුවන්නේ නම් එය මාධ්‍ය නිදහස උල්ලංඝණය විමකි. දේශපාලනික හෝ විවිධ පුද්ගල බලවේග මත එය සිදු විය හැක. එවැනි අවස්ථාවකදි පුද්ගලයෙකුට සිය අයිතීන් ආරක්ෂා කර ගැනිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත හැක. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර ඇත. ඒ පිළිබඳව 17වන වගන්ති‍යෙන් දක්වා ඇත. එනම් අයිතිවාසිකම් කඩ වු විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරිම මගින් මාසයක කාලයක් තුල තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනිමට හැකි බවයි. (රාජපක්ෂ විජයදාස , 2000 ප්‍රථම මුද්‍රණය, මාධ්‍ය නිදහස හා වගකිම, පිටු 67, රත්න පොත් ප්‍රකාශකයෝ,)
            කෙසේ වුවත් මහජනයා වෙත යමක් ප්‍රකාශ කිරිම, පළ කිරිම කළ යුත්තේ අන්‍යයන්ට බධා නොවන ලෙසිනි. එසේ නොවුනහොත් ඒ හරහා අයිතීන් කඩ විය හැක. ජනමාධ්‍ය නිදහස සම්බන්ධ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නේ නම් එනම් වැරදි , නොහෙබිනා ,අශ්ශිල දෑ පළ කිරිම , ප්‍රකාශ කිරිම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරිම, අධිකරණය අපහාසයට ලක් කිරිම, අපහාසය හෝ වරදකට පෙළඹවිම, සිදුකරයි නම් ඔවුන්ට දඩුවම් ලබා දීමට විවිධ අණපනත් පවති. උදාහරණ ලෙස මාධ්‍යයන් හරහා මෙවැනි වැරදි සිදු කරයි නම් ශ්‍රි ලංකාව තුළ සම්මත වු විවිධ අණපනත් මගින් දඩුවම් කළ හැක.
      ඒ අනුව පැහැදිලි වන්නේ මාධ්‍ය නිදහස භුක්ති විදිම මිනිසා සතු අයිතිවාසිකමකි වුවත් එය අනිසි ලෙස භාවිතා කිරිම දඩුවම් ලැබිය හැකි වරදක් වන බවයි. එයට හේතුව වන්නේ මාධ්‍ය නිදහස අනිසි ලෙස භුක්ති විදිම හරහා අන්‍යයන්ගේ නිදහසට බාධාවක් විමයි. එය ඇතැම් විට රජයේ හා මහජන ආරක්ෂාවට ද බාධාවක් විය හැක. එබැවින් මාධ්‍ය නිදහස භුක්ති විදිය යුතු සීමාවන් පවතින බව පැහැදිලිය. නමුත් මෙකි සීමාවන්ගෙන් පරිබාහිරව මාධ්‍ය නිදහස කප්පාදු වන්නේ නම් ඒ පිළිබඳව කටයුතු කිරිමේ හැකියායව පුද්ගලයන්ට පවති. මේ සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ මාධ්‍ය නිදහස යනු පුද්ගලයා සතු පරම අයිතියක් සේම එය කඩ වන අවස්ථවලදි සුරක්ෂිත කර ගැනිමද පුද්ගලයා සතු පරම අයිතියක් වන බවයි. එසේ වුවද මාධ්‍ය නිදහස අන්‍යන්ට පිඩාවක් නොවන අයුරින් භුක්ති විඳිය යුතු බවත් එසේ නොවන්නේ නම් දඩුවම් ලැබිය හැකි බවත්ය.
ආශ්‍රිත ග්‍රන්ථ
1.      රාජපක්ෂ,විජයදාස, 2000 ප්‍රථම මුද්‍රණය, මාධ්‍ය නිදහස හා වගකිම, රත්න පොත් ප්‍රකාශකයෝ,
2.      ද සොයිසා, එම්. ඕ. ඒ.,  2003 තෙවන මුද්‍රණය , දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත,

         ඒ.එම්.ඉරෝෂණි අධිකාරි.
         AR/58614
         07/5072
         නව මාධ්‍ය භාවිතය.
         සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය,
         ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

No comments:

Post a Comment