Wednesday, January 23, 2013



ළමා මනසට රූපවාහිනිය මඟින් සිදුවන බලපෑම

සෑම මිනිසෙකුම තොරතුරු දැන ගැනීමේ සා පිපාසාවකින් පෙළේ. මානව සංහතියේ ඉතිහාසය පුරාවටම මානවයා තම ්‍රාථමික අවශ්‍යයතාවයන් සපුරා ගැනීමට නොයෙක් මාර්ග ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීමට පෙළඹුනි. මේ හේතුවෙන් කාලයෙන් කාලයට විවිධ සන්නිවේදන මාධ්‍යයන්ගේ ප්‍රභවය හා විකාශය සිදු වූ අතර වර්තමානය වන විට මුළු මහත් ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් කිරීමට සන්නිවේදන මාධ්‍යය ඉවහල් වී ඇත. ගුවන් විදුලිය, නිශ්චල ඡායාරූපය, සිනමාව වැනි මාධ්‍යයන්හි තාක්ෂණික ශක්‍යතාවයන් ඇසුරු කොට ගෙන  ්‍රමිකව වර්ධනය වූ මාධ්‍යයක් වශයෙන් රූපවාහිනිය හැඳින්විය හැකි . නූතන මාධ්‍යයන් අතර අග්‍රස්ථානයක් හිමි කොට ගෙන ඇති මෙම මාධ්‍යය සුවිශේෂීතාව වන්නේ ශ්‍රව්‍යමය හා දෘශ්‍යමය ඉන්ද්‍රියන් ද්විත්වයක් එකවර උත්තේජනය කිරීමේ ශක්‍යතාවය යි.
ටෙලිවිෂන් Telivision හෙවත් රූපාවාහිනිය යන යෙදුම භාවිතයට පැමිණ ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වූ පර්ස්කි (perskyi) නැමැත්තා විසින් ග්‍රීක වචන දෙකක් එක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. හෙතෙම ටෙලි (දුර) සහ වීෂියෝ (දැකීම) යන ග්‍රීක වදන් දෙක එක් කළේය. ටෙලිවිෂන් වු කලී බහු ජන මාධ්‍යයක් වශයෙන් දෘශ්‍යය හෙවත් රූපයත් ශබ්දයත් යන දෙමාධ්‍යයේම සංකලනයෙන් යුක්ත වූ ජංගම මාධ්‍යයක් ලෙස සැලකේ. තරමක් දුරින් පිහිටි සම්ප්‍රේෂණාගාරයක සිට නිකුත්  කරනු ලබන විද්‍යුත් ධාරා සමුදායක් නැවත  ්‍රහනය කර ගැනීම රූපවාහිනි මාධ්‍යයේ මූලික විද්‍යාත්මක ක්‍රියා දාමයයි. ”(මහේන්ද්‍ර,සුනන්ද, වර්ෂය සහන්ව නැත,89) රූපවාහිනිය සොයා ගැනීමේ පුරෝගාමියා ලෙස සැළකෙන්නේ ජෝන් ලොගී බෙයාර්ඩ්ය. ක්‍රමයෙන් සිදු වූ  තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමානය  වන විට ඉතා ප්‍රබල මාධ්‍යයක් බවට රූපවාහිනිය බවට පත්ව ඇත. ”චන්ද්‍රිකා තාක්ෂණය හරහා ලෝකයේ  ඕනෑම තැනක සිදුවන සිද්ධියක් එසැනින් සජීවීව දැක ගැනීමේ හැකියාව ලැබී ඇත. Cable TV ක්‍රමවේදය 1949 දී මුලින්ම ඇමරිකා එක්සත් ජනපදය මගින් ස්ථාපිත කරන ලදී. වර්තමානය  වන විට රූපවාහිනිය  ඉතා දියුණු තාක්ෂණය හා එක්ව   ක්‍රමවේදය දක්වා දියුණු වී ඇත. Perfect Telivision නම් ්‍රමවේදයද වර්තමානයේ භාවිතා කරයි.” (දිසානායක,විජේසිංහ,2007,5)
අද්‍යතන සමාජයේ පොදු ජන විඥානයේ විචල්‍යයන් කෙරෙහි රූපවාහිනි මාධ්‍යය සෘජු ලෙසම බලපානු ලබයි. විවිධත්වයෙන් යුත් විවිධ ආකෘතින් ඔස්සේ ඉදිරිපත් කරනු ලබන වැඩසටහන් මගින් පුද්ගල විඥානයේ විවිධ වෙනස්කම් හදුනා ගත හැකිය. ”සමස්තයක් වශයෙන් ගත් කල ප්‍රේක්ෂකයා විවිධ සමාජීය ස්ථරවලට අයත් වේ. රූපවාහිනි මාධ්‍යය වර්ධනය හා විකාශනයත් සමග එම විවිධ සමාජ ස්ථර වලට අයත් මිනිසුන්ගේ ආවේනික ශික්ෂණ ක්‍රමවල ්‍රබල වෙනස්කම් ඇති වී තිබේ.” (දිසානායක,විජේසිංහ 2007,106,107) රූපවාහිනි වැඩසටහන් වල නිශ්චිත ඉලක්ක ්‍රාහක ඛණ්ඩයක් නැත. පොදු ්‍රාහකත්වය මත  රූපවාහිනි වැඩසටහන් මගින් සිදුවන සමාජ විපර්යාසය අධිකය. මෙය වඩාත් බලපාන්නේ දරුවන්ටය. වැඩිහිටි මනසකට වඩා දරුවෙකුගේ මනස වර්ධනය වී නැත. නොමේරූ ලාමක මනසක් දරුවාට ඇති අතර දරුවාට තත්‍යය හෝ අතත්‍යය තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් නැත. වැඩිහිටි චර්යාවේ විචල්‍යයන් කෙරෙහි ළමා වියේ විඳින අත්දැකීම් බලපානු ලබයි.
               
පිරිසිදු මානසික තත්ත්වයක් සහිතව මෙලොවට බිහිවන ළදරුවා පුද්ගල ක්‍රියා සහ සමාජ අන්තර් ක්‍රියාදාමය මුල් කර ගත් සන්නිවේදන රටාවෙන් ඉගෙනුම් ප්‍රවේශය ලබා ගනී. එතැන් සිට මව සහ පවුලේ සාමාජිකයන් මූලිකව සමාජාවලෝකය පුළුල් කර ගැනීමට උත්සාහ දරමින්, සංකීර්ණ සමාජ පරිසරයකට ප්‍රවේශය සිදුකර ගනු ඇත.” (වීරසිංහ,ටියුඩර්,රංජිත්,ධර්ම කීර්ති,වර්ෂය සහන්ව නැත, වර්ෂය සහන්ව නැත,136) දරුවාගේ චරිතයේ වර්ධනයක් සිදු වන අංගයක් වශයෙන් මාධ්‍යය හැඳින්විය හැකිය. එම නිසා සෑම විටම දරුවාගේ මනස අවබෝධ කරගෙන මාධ්‍යය පඨිතයන් සැකසීම සෑම මාධ්‍යකරුවෙකුගේම වගකීමක් විය යුතුය. ”මනෝ විද්‍යාඥයන්ගේ පර්යේෂණවලට අනුව, බාලවියේදී කරන ක්‍රියා  යෞවනයට පත් වීමේදී භීතියක් මෙන්ම, සාපරාධතාව සහ දෝෂතාව පිළිබද කටුක අත්දැකීම් ඇති කරන්නක්ද විය හැකිය. මෙබදු හැඟීම් හේතු කොට ගෙන විවිධ වූ මානසික විකෘතීන් ඇති වීමටද ඉඩ තිබේ.” (පෙරේරා,සුනිල් සරත් 2007,125)
               
රූපවාහිනී මාධ්‍යය ඇසුරු කිරීම දරුවාගේ  විනෝදාංශය බවට පත්ව ඇති අතර වර්තමානය වන විට දරුවන් සමාජානුයෝජනය වන්නේ රූපවාහිනී මාධ්‍ය ඇසුරු කොට ගෙනය. දරුවන්ගෙ චින්තනය හැසිරීම් රටාව, පරිකල්පනය ගොඩනැගෙන්නේ මාධ්‍ය හරහාය. එම නිසා සෑම විටම මාධ්‍ය කරුවන් මෙන්ම දෙමව්පියන්ද දරුවන්ට බලපාන අර්ථකර හෝ අනර්ථකර නිරතුරු අවධානයෙන් කටයුතු කළ යුතුය. මාධ්‍යය මගින් ඉදිරිපත් කරන වැඩ සටහන් තුලින් ළමා මනසට බලපෑමක් සිදුවිය හැකි හෙයින් මාධ්‍ය වලට දරුවන් සම්බන්ධ කර ගැනීමේදී පවා සම්බන්ධයෙන් වඩාත් සුපරික්ෂාකාරී විය යුතුය. රූපවාහිනී මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලබන විවිධ ප්‍රචණ්ඩකාරී වැඩසටහන් නිසා දරුවන් තුළින් විවිධ ප්‍රචණ්ඩකාරි හැසිරීම් රටාවන් පිළිඹිබු වන බව මනෝ විද්‍යාත්මකව සනාථ කළ සාධකයක් වශයෙන් සැලකේ. ''ඇල්ෆඩ් බන්ධූරා නැමති සමාජ මනෝ විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද සමාජ ඉගෙනුම් සිද්ධාන්තය අනුව ටෙලිනාට්‍ය විවිධ චරිත, රංගනයන්, කතාන්දරය සමග දැඩි සම්බන්ධතාවක් පවත්වා ගැනීමට සහ එය අනුකරණයට ප්‍රේක්ෂකයා පෙළඹේ.” (දිසානායක,විජේසිංහ,2007,91) ටෙලිනාට්‍ය කාටුන් වැනි ළමුන් වඩාත් ප්‍රිය කරන රූපවාහිනී වැඩ සටහන් සමග අන්තර් සබඳතා පවත්වා ගන්නා දරුවා  එහි විවිධ භූමිකාවල් අනුකරණයට පෙළඹේ. දරුවන්ට හුරු පුරුදු සමාජ ජීවිතය හා සමාන අවස්ථා වලදී පවතින ප්‍රචණ්ඩතාවය සහිත දර්ශන තුළින් දරුවා  කැළඹීමට  පත්වේ. විශේෂයෙන් තමා කැමති තමාට හුරු පුරුදු පුද්ගලයින් අතර ප්‍රචණ්ඩතා ඇතිවන විට දරුවන් දුකට පත් වේ, කෝපයට පත්වේ. එපමණක් නොව විවිධ කාටුන්, ටෙලිනාට්‍යය වල පඨිතයන් කෙරෙහි දරුවන් අනුගත විමක් දැකිය හැක. කාටුන්, ටෙලිනාට්‍ය වල හුවා දක්වන විවිධ වීර චරිතයන් අනුකරණය කරන්නට යාමෙන් දරුවන් අසරණ වන අවස්ථාවන්ද දැක ගත හැකිය. ''රොබින්හුඩ් ටෙලි  මාලය නැරඹු ළමයින් රංචුවක් අසල කැළයකට ගොස් එය අනුකරණය කිරීමට යාමෙන් හීයක් වැදී ඇසක් අන්ධ වීම පිළිබඳ පුවතක් බුලත්කොහුපිටියෙන් වාර්තා විය.” (පෙරේරා රංජිත් 2001,ජනවාරි-මාර්තු,149-150" දිසානායක,විජේසිංහ 2007,97)

            දරුවන්ගෙ ලෝකයේ වීරයන් වන්නේ සුපර්මෑන්, නයිට් රයිඩර්, ටාසන්, රොබින් හුඩ් වැනි කාඩ් බෝඩ් චරිතයන්ය. සුපර් මෑන් යනු සමාජය අභිබවා වැඩෙන තනි මිනිසෙකි. හේ සමාජය වෙනුවෙන් සටන් වදිනුයේ තම සුපිරි බවේ අනුහසින්ය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය විසින් ළමයින් හික්මවීමට අපේක්ෂා කරන අකාරයට වඩා ඉතාම වෙනස් ආකාරයකටය. මෙම කාටූන් චිත්‍රපට විසින් ඔවුන්ව හික්මවනු ලබන්නේ යැයි (දිසානායක, විජේසිංහ,2007,108) කිව හැකිය.
            නූතන මාධ්‍යයන් ලාභය පමණක් අරමුණු කොට ගෙන වැඩ සටහන් සකස් කරන හෙයින් සමාජ වගකීම යන්න සම්බන්ධයෙන් ඇති අවධානය අල්පමාත්‍රයක් තරම් වේ. බොහෝ වැඩ සටහන් ඇත්තේ ළමා මනසට වැඩිහිටි ආශාවන් ලබා දෙන වැඩසටහන්ය. මේ තත්ත්වය නිසා ළමයින් සමාජය හා එහි වැඩිහිටියන්ගේ කාර්යභාරය පිළිබදව තම සිතුවිලි වල ධාරණය කරගනු ලබන්නේ රූපවාහිනී තිරයේ ප්‍රදර්ශනය වන කෘතිම දර්ශනයන්ය. මේ තත්ත්වය මත ළමයා කෘතිම සුන්දර සිහින ලොවක අතරමං වන අතර සැබෑ ලොව පිළිබඳ අවබෝධයක් නොවේ. එසේම දුම් පානය මධ්‍යසාර භාවිතය වැනි සදාචාර විරෝධී ක්‍රියාවන් දරුවන් උදෙසා වන වැඩසටහන් වලට ඉදිරිපත් කිරීමෙන් වැළකිය යුතුය. මන්ද අනුකරණය, අනුගතවීම දරුවාගේ අවිඥානය තුල ඇති වන්නකි. එමෙන්ම ඇතැම් රූපවාහිනී වැඩ සටහන් වල කායිකමය දුර්වල සහිත දරුවන්ට අඩු සැළකිලි දැක්විම, විහිලු තහලූ කිරීම තුළ සැබෑ ලෙසට එවන් ලක්ෂණ සහිත දරුවා තුළ කිසියම් ආකාරයක හීනමානයක් හට ගැනීම නිසා ඔහු සමාජයට යාමට බිය වෙයි. එම නිසා මෙවන් චරිත අඩංගු වැඩ සටහන් නිෂ්පාදනයේදී දරුවාගේ අවිඥානයට එය කෙතරම් දුරට බලපාන්නේද යන්න විචක්ෂණශීලීව විමසා බලා ඉදිරිපත් කිරිම මාධ්‍ය සතු වගකීමක් වන්නේය.
            දරුවාගේ විචක්ෂණභාවය හීන කරන සමාජය පිළිබඳ වැරදි ප්‍රතිමානයන් මනසේ ඇති  කරන රූපවාහිනි වැඩසටහන්වලින් තොරව තත්‍යය ලෝකය අවබෝධ කරන, දරුවාගේ මනස අවබෝධ කොට ගෙන දරුවාගේ ශක්‍යතාවයන් වැඩි දියුණු කරන වැඩසටහන් ඉදිරිපත් කළ යුතුය. අධ්‍යපනික වැඩසටහහන් ගත් විට ප්‍රබල අවිධිමත් කාරකයක් වශයෙන් හදුන්වා දිය හැකිය. එම වැඩසටහන් මගින් දරුවාට දැනුම කුසලතා වර්ධනය කර ගත හැකිය.එවැනි අධ්‍යාපනික වශයෙන් මෙන්ම, අධ්‍යාත්මික වශයෙන්ද වැදගත් වූ ආදර්ශමත් වැඩසටහන් දරුවන් ඉලක්ක කරගෙන සිදු කළ යුතුය. අද ළමයා හෙට ගොඩ නැගෙන සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණවලට හානි නොවන පරිද්දෙන් නිර්මාණය කිරිමට මාධ්‍යවේදියා පරෙස්සම් වීම වැදගත්ය. තමා අභිමුඛයේ ඇති වඩා උසස් තලයකට නැංවිය යුතු සමාජයක් ඇති බවත් ළමයා එහි මූල බීජය බවත් අවබෝධ කර ගත යුතුය.” (දිසානායක,විජේසිංහ,2007,126) එසේම ළමයින්ට රසවත් විනෝදවත් සහ සාරවත් වැඩසටහන් ලොවේ නියම තත්ත්වය ඔවුනගෙන් වසන් කිරීම සමඟ පටලවා ගත යුතු නැත. වැඩිහිටියන් ඇතැම් විට ළමයින් පරිස්සම් කිරීමට යම් යම් දේ බැහර කරති. ඇතැම් දරුවන්ට ලෝකය දැනටමත් ප්‍රචණ්ඩ සහ භයානක වුවත්, ඔවුන්ගේ ජීවිතය ගැන අවබෝධ කරගෙන සුදුසු ලෙස හැඩ ගැසීමට ඔවුන්ට උදව් වීම මාධ්‍යයේ සහ විශේෂයෙන් ටෙලිවිෂනයේ වගකීමකි.” (දකුණු අප්‍රිකා විකාශන සංස්ථාවේ මග පෙන්වීම පිටුව 16"පෙරේරා,සුනිල් සරත් 2007,97) දරුවන් හීන මානසිකත්වයට නොව උසස් රුචිකත්වයකට යොමු කරවන ආදරය, කරුණාව, ඉවසීම, මෛත්‍රිය වැනි උතුම් ගුණාංග දරුවාගේ මනස තුළ ඇති කරන උසස් රසවින්දනයක් සහිත වැඩසටහන් ඉදිරිපත් කිරීම මගින් සමාජය තුළට යහපත් දරුවකු බිහි කර ගත හැකිය. මෙකී කාර්යයේදී දෙමව්පියන් විසින් දරුවාට අවශ්‍යය දේ පමණක් ලබා දීමට ක්‍රියා කළ යුතුය.


්‍රන්ථ නාමාවලිය
1. දිසානායක,විජේසිංහ.(2007) රූපවාහිනී මාධ්‍යය ආධිපත්‍යය,නුගේගොඩ:සරසවි ්‍රකාශකයෝ
2. පෙරේරා,සුනිල් සරත්.(2007) විද්‍යුත් මාධ්‍යෝපදේශ විග්‍රහය,නුගේගොඩ:සරසවි ්‍රකාශකයෝ
3. මහේන්ද්‍ර,සුනන්ද.ජන මාධ්‍යයේ නැගීම,(වර්ෂය සහන්ව නැත)කොළඹ 10:ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
4. වීරසිංහ,ටියුඩර්,රංජිත්,ධර්ම කීර්ති ශ්‍රී.ජනමාධ්‍යවේදය(ජනමාධ්‍යය අධ්‍යයනය හා විචාරය),(වර්ෂය සහන්ව නැත)කොළඹ විශ්ව විද්‍යාලය:ශ්‍රීපාලි මණ්ඩපය



ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය
1. ඇතුගල,ආරියරත්න.(1998)සංජානනය හා සන්නිවේදනය,කොළඹ 11:සී/ස.ඇම්.ඞී.ගුණසේන හා සමාගම
2. දිසානායක,විජේසිංහ.(2007)රූපවාහිනී මාධ්‍ය ආධිපත්‍යය,නුගේගොඩ:සරසවි ප‍්‍රකාශකයෝ
3. පෙරේරා"සුනිල් සරත්.(2007)විද්‍යුත් මාධ්‍යෝපදේශ විග‍්‍රහය,නුගේගොඩ:සරසවි ප‍්‍රකාශකයෝ
5. මහේන්ද්‍ර,සුනන්ද.ජන මාධ්‍යයේ නැගීම, (වර්ෂය සහන්ව නැත)කොළඹ 10:ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
5. වීරසිංහ,ටියුඩර්,රංජිත්,ධර්ම කීර්ති ශී‍්‍ර.ජනමාධ්‍යවේදය(ජනමාධ්‍ය අධ්‍යයනය හා විචාරය),(වර්ෂය සහන්ව නැත)කොළඹ විශ්ව විද්‍යාලය:ශී‍්‍රපාලි මණ්ඩපය




අයි.වී.කේ.එස්.විතානගේ
AR/59137
07/5595


































































No comments:

Post a Comment