Thursday, January 17, 2013

ෂැනොන් හා වීව(ර්)ගේ සන්නිවේදන ආකෘතිය සහ බ(ර්)ලෝගේ එස්.එම්.සී.ආර්. සන්නිවේදන ආකෘතිය.

සන්නි‍වේදනය යනු කුමක් ද? යන්න නිර්වචනය කිරීමත්, සන්නිවේදන ආකෘති පිළිබඳව පැහැදිලි කිරීමත්, ෂැනොන් හා වීව(ර්)ගේ සන්නිවේදන ආකෘතිය ගැනත්, එම ආකෘතිය තුළින් පැහැදිලි කරන සන්නිවේදනය මඟින් ප්‍රශස්ත සන්නිවේදනයක් කරගන්නේ කෙසේ ද? යන්නත්, එම ආකෘතියේ දුර්වලතා මොනවා ද? යන්නත්, බ(ර්)ලෝගේ එස්.එම්.සී.ආර්. සන්නිවේදන ආකෘතියත්, එම ආකෘතිය තුළින් පැහැදිලි කරන සන්නිවේදනය මඟින් ප්‍රශස්ත සන්නිවේදනයක් කරගන්නේ කෙසේ ද? යන්නත්, එම ආකෘතියේ දුර්වලතා මොනවා ද? යන්නත්, එම ආකෘතිවලට පදනම් වූ පොදු ලක්ෂණ පිළිබඳවත්, ආකෘති දෙකෙහි වෙනස්කම් පිළිබඳවත්, මෙහි දී සාකච්ඡා කරනු ලැබේ.


මිනිසා සමාජීය සත්ත්වයෙකි. එබැවින් සමාජය තුළ ජීවත් වීමේ දී එකිනෙකා සමඟ අන්තර් සම්බන්ධතා පවත්වා ගෙන යාම සඳහා සන්නිවේදන කාර්යයේ නියැළීමට සිදුවනු ඇත. ඒ අනුව සන්නිවේදනය යනු කුමක් ද? යන්න විමසා බැලීම ඉතා වැදගත් වේ. සන්නිවේදනය පිළිබඳව හැරල්ඩ් ලැස්වෙල් ඉදිරිපත් කළ නිර්වචනය ගැන සළකා බලමු.

''කවරෙක්, කුමක්, කුමන චැනලයකින්, කවර ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් කවරෙකු හට කියයි ද, එය සන්නිවේදනය නම් වෙයි."
කරුණානායක (2000 : 25).

ඒ අනුව සන්නිවේදනයක් සිදු කිරීමට සන්නිවේදකයෙක්, පණිවුඩයක්, නාලිකාවක්, ග්‍රාහකයෙක් මෙන් ම බලපෑමක් ද තිබිය යුතු ය. මීට අමතරව සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත් වී ඇති තවත් නිර්වචන කිහිපයක් දෙස අවධානය යොමු කරමු.

"සන්නිවේදනය යනු තොරතුරු අදහස් සහ ආකල්ප එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය කිරීමයි."
(ඩැනියෙල් ලර්නර්, 1958)

"සන්නිවේදනය යනු සමාජීය දිවියේ අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සමාජ දිවියේ හරය පිළිබඳ මිනුම් දණ්ඩ ද එයයි."
(වොරන් ඇගී, 1982)

සන්නිවේදන ආකෘති පිළිබඳව කථාබහ කිරීමට පූර්වයෙන් ආකෘතියක් යනු කුමක් ද? යන්න අවබෝධ කර ගනිමු. වර්ෂ 1952 දී ඩොයිෂ් ආකෘතියක් යනු කුමක් දැයි නිර්වචනය කළේ ය.

''යම් කිසි පවත්නා ව්‍යූහයක හෝ ක්‍රියාදාමයක හෝ අදාළ ලක්ෂ්‍ය කට්ටලයක් හා සැසදෙන සංකේත හා ක්‍රියාත්මක රීතින්"
කරුණානායක (2000 : 8)


සන්නිවේදනය පුළුල් පරාසයක විසිරී පැතිරී ගිය විෂය ක්ෂේත්‍රයකි. එ මෙන් ම සංකීර්ණ ක්‍රියාවලියකි. ඉතා වේගයෙන් සන්නිවේදනය විපර්යාසවලට ලක් වේ. ඒ නිසා එම සන්නිවේදන ක්‍රියාදාමය පහසුවෙන් තේරුම් ගැනීමට ආකෘති උපයෝගී කරගනී. එම ආකෘති සන්නිවේදන ආකෘති ලෙස හැඳින්වේ. මේ අනුව ආකෘති හරහා යම් ක්‍රියාවලියක, ව්‍යුහයක ප්‍රධාන අංග මොනවා ද?, ඒවා අතර ඇති සබඳතා මොනවා ද? යන්න හඳුනාගත හැකිය.

ෂැනොන් හා වීව(ර්)ගේ සන්නිවේදන ආකෘතිය

ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීව(ර්) යන දෙදෙනා ම අමෙරිකාවේ බෙල් ටෙලි‍ෆෝන් රසායනාගාරයේ සේවය කළෝ ය. ෂැනොන් විද්‍යාඥයෙකි. වීව(ර්) සහායකයෙකි. දුරකථන හා ගුවන් විදුලි තාක්ෂණය පිළිබඳව මෙම දෙපළ වැඩි අවධානයක් යොමු කළහ. මාධ්‍යයක් හරහා ප්‍රධාන වශයෙන් පණිවුඩයක් යවන විට එය මැන බැලීමටත්, එහි ස්වභාවය තේරුම් ගැනීමටත් සැම විට උත්සාහ කළෝ ය. එය පාදක කරගනිමින් ඉංජිනේරු විද්‍යාවට අදාළ න්‍යායන් ඇසුරින් 1949 දී ආකෘතියක් නිර්මාණය කළහ. පසුකාලීනව එය ෂැනොන් හා වීව(ර්)ගේ ගණිතමය ආකෘතිය ලෙස ව්‍යවහාරයට පත් විය.


රූපය : කාරියවසම් (2002 : 64)

මෙම ආකෘතිය අනුව තොරතුරු මූලාශ්‍රයක් මඟින් පණිවුඩයක් නිකුත් කරයි. එම පණිවුඩය යම් නාලිකාවක්/විකාශකයක් හරහා සංඥා බවට පත්වනු ඇත. මෙම සංඥා ග්‍රාහකයා වෙත ගමන් කරද්දී ඝෝෂක මූලාශ්‍ර එයට එකතු වෙයි. ඉන්පසු අදාළ පණිවුඩය පර්යන්තය/ග්‍රාහකාන්තය කරා යොමුවනු ඇත. මෙම ආකෘතිය විමර්ශනය කිරීමේ දී පෙනී යන්නේ ඉංජිනේරු විද්‍යාවේ කරුණු 05 ක් යොදා ගනිමින් මෙය සකසා ඇති බව ය. ඒවා මෙසේ ය.

මූලාශ්‍රය
ආකේතකරණය
නාලිය
විකේතකරණය
අග්‍රස්ථානය

සන්නිවේදන ක්‍රියාවලියෙහි නියැළිමේ දී විවිධාකාර බාධකවලට මුහුණදීමට සන්නිවේදකයාටත්, ග්‍රාහකයාටත් සිදුවනු ඇත. එවැනි බාධක විශේෂයකි නාලීය බාධක. මෙම බාධක මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ ෂැනොන් හා වීව(ර්) යන දෙපළ විසිනි. මෙම ආකෘතිය මඟින් නාලීය ක්‍රියාදාමය තුළ ඇති වන ඝෝෂා පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ. මෙම සංඥා ඒවා ගලා යන නාලිකා‍වේ දී විවිධ බාධකවලට නතු වීමට ඇති හැකියාව පිළිබඳව මොවුන් දෙදෙනා කළ සොයා ගැනීම විශිෂ්ට වූත්, විමසුමට ලක් විය යුතු වූත් සොයා ගැනීමකි. ඝෝෂා එකතු වීම තුළින් පණිවුඩය විකෘති තත්ත්වන්ට පත් විය හැකිය. එවිට ග්‍රාහකයා ලබන පණිවුඩය තුළ සන්නිවේදකයා අදහස් කරන දෙය වෙනස් වනු ඇත. ඒ මඟින් ප්‍රශස්ත සන්නිවේදනයකට ඇති මඟ ඇහිරේ. සන්නිවේදකයා ඝෝෂක පිළිබඳව ඉතා හොඳ අවධානයක් යොමු කළ යුතු ය. සංදේශයේ මූලික අදහස නැවත නැවතත් ඉදිරිපත් කිරීමට සන්නිවේදකයා උත්සාහ කළ යුතු ය. ඒ තුළින් ඝෝෂාවන් බාධාවක් කර ‍නොගෙන ප්‍රශස්ත සන්නිවේදනයක් සිදු කළ හැකි ය. සන්නිවේදකයා අදාළ සංදේශය පිළිබඳව පුළුල් අව‍බෝධයක් ඇති අයකු විය යුතු යි. එ මෙන් ම අදාළ සංදේශය ග්‍රාහකයාට පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ලබා දිය යුතු ය. එසේ නොවුණහොත් ග්‍රාහකයා පණිවුඩය වැරදි ලෙස වටහා ගැනීමට යොමු ‍වේ. එබඳු තත්ත්වයක් ඇති නොවීමට සන්නිවේදකයා වග බලා ගත යුතු ය. ඒ තත්ත්වය තේරුම් ගෙන සන්නිවේදනයේ යෙදේ නම්, ප්‍රශස්ත සන්නි‍වේදනයක් සිදු කළ හැකි ය. ඒ අනුව ෂැනොන් හා වීව(‍ර්)ගේ සන්නි‍වේදන ආකෘතිය තුළින් පැහැදිලි කරන සන්නිවේදනය මඟින් ප්‍රශස්ත සන්නිවේදනයක් සිදු කර ගත හැකි බව පැහැදිලි වේ.

මෙම ආකෘතිය සන්නිවේදන න්‍යායන්ගේ දියුණුවට පවා ඉවහල් විය. දියුණු වන ලෝකය තුළ පරිගණක විද්‍යාව උදෙසා ‍මෙම ආකෘතිය භාවිත කිරීම සිදු වේ. ඒ අනුව මෙම ආකෘතිය ප්‍රායෝගික ලෝකයට සාර්ථකව සම්බන්ධ කර ගත හැකි බව ගම්‍ය වේ. මේ ආකෘතිය ඉදිරිපත් වූ පසු විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සන්නිවේදන ක්‍රියාවලිය ගැන දැඩි අවධානයක් යොමු කරනු ලැබූහ. විශේෂයෙන් සන්නිවේදන ක්‍රියාවලියට කවර ක්‍රියාමාර්ග ගත යුතු ද යන්න විමසා බලන්නට යුහුසුළු වූහ. එහිලා විශේෂ අවධානය යොමු වූයේ තාක්ෂණය සම්බන්ධව යි.

නමුත් ආකෘතිය අධ්‍යයනය කිරීමේ දී ඒ තුළ විවිධ දුර්වලතා කිහිපයක් හඳුනාගත හැකි ය.

v  ෂැනොන් හා විව(ර්) යන දෙපළගේ අවධානය අර්ථමය තත්ත්වය සම්බන්ධව ‍යොමු වී නැත. එය මෙහි ඇති ප්‍රධාන දුර්වලතාවකි. වඩා හොඳින් යොදා ගත හැක්කේ කෙසේ ද? යන්න අර්ථමය තත්ත්වය යි.
v  ග්‍රාහක දෘෂ්ටිකෝණයෙන් බලන විට විචල්‍යයන් ගණනාවක් අමතක කොට ඇති බව දැක ගත හැකි ය. මෙම ආකෘතිය තුළින් සන්නිවේදකයා ලබා දෙන තොරතුර ග්‍රාහකයා නිසි ආකාරයෙන් ග්‍රහණය කර ගත්තේ ද? යන්න නිරීක්ෂණය කළ හැකි නම් ඉතා වැදගත් වේ. එය ප්‍රතිපෝෂණය යි. නමුත් ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ දී ග්‍රාහකයාගේ කාර්යය කුමක් ද? යන්න පිළිබඳව මෙම ආකෘතිය මඟින් පැහැදිලි කර නැත. පණිවුඩ මූලාශ්‍රය හා ග්‍රාහකයා අතර අනාගතයේ දී කෙබඳු සබඳතාවක් ඇති වේ ද යන්නත් විස්තර නොකරයි.
v  මෙය තාක්ෂණික දෘෂ්ටිකෝණයකින් බලන ආකෘතියකි. ඒ සම්බන්ධව විවිධ විවේචන ද එල්ල වී ඇත.

ෂැනොන් හා වීව(ර්)ගේ ගණිතමය ආකෘතිය තුළ විවිධ අන්දමේ දුර්වලතා තිබුණ ද, සන්නිවේදන ආකෘති ඉතිහාසය දෙස බලන විට මෙම ආකෘතියට ප්‍රධාන ස්ථානයක් හිමි වී ඇති බව කිව යුතු ය.

ඩේවිඩ් බ(ර්)ලෝගේ එස්.එම්.සී.ආර්. සන්නිවේදන ආකෘතිය

ඩේවිඩ් බ(ර්)ලෝ සන්නිවේදනයට සම්බන්ධව උසස් අධ්‍යාපනයක් ලැබූවෙකි. ෂැනොන් හා වීව(ර්)ගෙන් පසුව සන්නිවේදන ආකෘතියක් ගොඩ නැංවීමට බ(ර්)ලෝ දැඩි උත්සාහයක් ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙසින් වර්ෂ 1960 දී SMCR නමින් ඔහු තම ආකෘතිය සන්නිවේදන ක්ෂේත්‍රයට ඉදිරිපත් කළේ ය. එය පහත සටහනින් දැක්වේ.


 සටහන : කරුණානායක (2000 : 32)

මෙම ආකෘතිය සන්නිවේදන කේෂත්‍රය තුළ බොහෝ කාලයක් පුරාවට විශාල බලපෑමක් සිදු කළේ ය. මෙය සමාජ විද්‍යාත්මක පදනමක් සහිත ආකෘතියකි.

මූලාශ්‍රය
පණිවුඩය
නාලිය
ග්‍රාහකයා යන අංශ යොදා ගෙන සන්නිවේදනය පැහැදිලි කිරීමට බ(ර්)‍ලෝ මේ ආකෘතිය යොදා ගෙන ඇත. මේවා එකිනෙක විස්තරාත්මකව විමසා බැලීම තුළින් මෙම ආකෘතිය ඔස්සේ සන්නිවේදනය යන්න හොඳින් අවබෝධ කර ගත හැකි වේ.

සන්නිවේදකයා හොඳ සන්නිවේදන කුසලතාවන්, හැකියාවන් සහිත අයෙකු විය යුතු ය. ඔහුට කථන, ලේඛන, භාෂණ මෙන් ම තාර්කික චින්තනයක් ද තිබීම අත්‍යවශ්‍ය වේ. සන්නිවේදකයා හා ග්‍රාහකයා එක ම ආකාරයෙන් කටයුතු කළ යුතු ය. ඒ අනුව එම කුසලතාවන් ග්‍රාහකයා සතු වීම ද අත්‍යවශ්‍ය වේ. දෙපාර්ශවයට ම හොඳ සන්නිවේදන කුසලතා තිබීම ප්‍රශස්ත සන්නිවේදයක් සිදු කිරීමට හේතු වේ.

සන්නිවේදකයා ග්‍රාහකයා තුළත් හොඳ ආකල්ප තිබිය යුතු ය. විශේෂයෙන් සන්නිවේදකයාට ග්‍රාහකයා ගැනත්, ග්‍රාහකයාට සන්නිවේදකයා ගැනත් හොඳ ආකල්ප තිබිය යුතු ය. එම යහපත් ආකල්ප සංදේශය කෙරෙහි ද පැවතිය යුතු ය. ඒ තුළින් ප්‍රශස්ත සන්නිවේදනයක් සිදු කිරීමට හැකි වේ.

සන්නිවේදකයාත් ග්‍රාහකයාත් යන දෙපාර්ශවයට ම මනා දැනුමක් තිබීම ඉතා වැදගත් වේ. දෙදෙනාට ම එක ම දැනුම් මට්ටමක් ඇති විට ඒ හරහා වන සන්නිවේදනය ප්‍රශස්ත වනු ඇත. එහි දී ගැටුම් සිදු වීම අවම වේ.

දෙපාර්ශවය ම එක ම සමාජ පද්ධතියකට අයත් වේ නම් එහි දී ‍හොඳ සන්නිවේදනයකට ඉඩකඩ ලැබෙනු ඇත. ‍ඒ නිසා තොරතුරු පහසුවෙන් ගලා යාමටත්, අවබෝධ කර ගැනීමටත් හැකියාව ලැබේ. එය ප්‍රශස්ත සන්නිවේදනයට වැදගත් වේ.

මිනිසා බොහෝ දේවල්වලට අර්ථ සපයන්නේ සංස්කෘතිය පාදක කරගෙන ය. මේ ගැන අවබෝධය සන්නිවේදන කාර්යයට දැඩි බලපෑම් ඇති කරයි. දෙපාර්ශවයට ම විශ්වාස, සිතුම් පැතුම් ආදිය ගැන මනා අවබෝධයක් තිබීම ප්‍රශස්ත සන්නිවේදනයක් සිදු කිරීමට ඉවහල් වේ.

මූලිකාංග, ව්‍යුහය, අන්තර්ගතය, ඉදිරිපත් කිරීම, කේතකරණය යන කරුණු 05 පදනම් කරගෙන බ(ර්)ලෝ තම ආකෘතිය තුළින් පණිවුඩය විස්තර කර ඇත. පණිවුඩය සැකසී ඇත්තේ කවර අංග මුල් කරගෙන ද? ඒ තුළින් ග්‍රාහකයා කෙරේ බලපෑමක් ඇති කළ හැකි ද යන්න සන්නිවේදකයා හොඳින් අවබෝධ කරගෙන සිටිය යුතු ය.

පණිවුඩය සංවිධානය වී ඇත්තේ කවර ව්‍යූහයක් ලෙස ද? යන්න සන්නිවේදකයා තරයේ සිහි තබා ගත යුතු ය. එහි දී පණිවුඩයේ ප්‍රධාන කරුණුවලට ප්‍රමුඛ ස්ථානයක් දෙමින් අනිකුත් කරුණු පෙළ ගැස්වීමට වගබලා ගැනීම ගත යුතු ය. ඒ තුළ මනා ව්‍යුහයක් නිර්මාණය වනු ඇත. එය ප්‍රශස්ත සන්නිවේදනයකට ඉවහල් වේ.

පණිවුඩයේ අන්තර්ගතය සැකසී ඇත්තේ කෙසේ ද? ඒ තුළ ග්‍රාහකයාට තමා ලබා දීමට බලාපොරොත්තු වන කරුණු ඒ ආකාරයෙන් ම ඇතුළත් වී තිබේ දැයි සන්නිවේදකයා දැනගත යුතු ය. ග්‍රාහකයාට අදාළ පණිවුඩය ඒ ආකාරයෙන් ම තේරුම් ගැනීමට හැකි වන පරිදි ඉදිරිපත් කළ යුතු ය. තම පණිවුඩය ග්‍රාහකයාට සුදුසු/ගැළපෙන, අවබෝධ කරගත හැකි සංඥා උපයෝගී කරගනිමින් ලබා දිය යුතු ය. ප්‍රශස්ත සන්නිවේදනයක් සිදු කිරීමෙහිලා පණිවුඩයේ අන්තර්ගතය ඉතා වැදගත් වේ.

සන්නිවේදකයා අවශ්‍යතාවය, ස්ථානය අනුව පණිවුඩය ඉදිරිපත් කිරීමට සුදුසු නාලිකාව තෝරා ගත යුතු ය. ප්‍රශස්ත සන්නිවේදනයකට මෙය ද ඉතා වැදගත් වේ. අපගේ පංච ඉන්ද්‍රියන් සියල්ල ම විටෙක මීට උපයෝගී කර ගත හැකි ය. ඒ අනුව දෘෂ්ටිය, ශ්‍රවණය, ස්පර්ශය, අඝ්‍රාණය හා දැනීම එහිලා උපයෝගි කරගත හැකි ය. ඒ අනුව බ(ර්)ලෝගේ මෙම ආකෘතිය තුළින් පැහැදිලි කරන සන්නිවේදනය මඟින් ප්‍රශස්ත සන්නි‍වේදනයක් සිදු කරගත හැකි බව පැහැදිලි වේ.

මානව සන්නිවේදනය පිළිබඳව සරල ආකෘතියක් ඔස්සේ පුළුල් දෘෂ්ටි කෝණයකින් බ(ර්)ලෝ සන්නිවේදනය විස්තර කර ඇත. හැසිරීම් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ආකෘතිය නිර්මාණය කර තිබේ.

කෙසේ වුව ද මෙම ආකෘතිය තුළ ද යම් යම් දුර්වලතා පවතින බව දැක්විය හැකි ය.

v  සන්නිවේදන ක්‍රියාවලියේ දී සන්නිවේදකයාට තමා විසින් ඉදිරිපත් කළ පණිවුඩය ග්‍රාහකයාට ඒ ආකාරයෙන් ම අවබෝධ කර ගත්තේ ද යන්න දැන ගැනීම වැදගත් වේ. නමුත් බ(ර්)ලෝගේ මෙම ආකෘතිය තුළින් ඍජුව ම ප්‍රතිපෝෂණය ගැන කරුණු කියාපා‍න්නේ නැත. මෙය මෙහි එන දුර්වලතාවකි. ඒ අනුව සන්නිවේදනය නිසි පරිදි වූවා ද යන්න සැක සහිත ය.

v  ග්‍රාහකයාට බලපෑමක් ඇති කිරීමට අපේක්ෂා කළ ද ඉන් එහාට වන තත්ත්වයක් ගැන අවධානයක් යොමු නොකිරීම නිසා ග්‍රාහකයාට අඩු සැලකිල්ලක් දක්වන බව පෙනී යයි.

v  මෙම ආකෘතිය රේඛීය ස්වභාවයකින් යුක්ත වේ. එය ද දුර්වලතාවකි.

මෙබඳු දුර්වලතා තිබුණත් සන්නවේදනය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම ආකෘතිය පිටුවහලක් වේ.

ෂැනොන් හා වීව(ර්)ගේ ගණිතමය ආකෘතියටත් බ(ර්)ලෝගේ SMCR ආකෘතියටත් පදනම් වූ පොදු ලක්ෂණ කිහිපයක් දැක ගත හැකි ය.

v  මෙම ආකෘති දෙක ම රේඛිය ස්වභාවයක් ගැනීම එක් පොදු ලක්ෂණයකි. සන්නිවේදනය එක් අංශයකට ගමන් ගන්නා රේඛිය ස්වරූපයක් මේවායේ ඇත.

v  රේඛිය ස්වභාවයක් ගත් මෙම ආකෘතිවල මූලිකත්වය හිමි වනුයේ සන්නිවේදකායට ය. ග්‍රාහකයා පිළිබඳ කථා බහ කළ ද ආකෘති ඔස්සේ ප්‍රමුඛතාවක් යොමු කරන්නේ සන්නිවේදකයාට ය.

ෂැනොන් හා වීව(ර්)ගේ සන්නිවේදන ආකෘතියත්, බ(ර්)ලෝගේ SMCR ආකෘතියත් අතර විවිධ වෙනස්කම් ද හඳුනා ගත හැකි ය.

v  ෂැනොන් හා වීව(ර්)ගේ සන්නිවේදන ආකෘතිය ගණිතමය ආකෘතියක් වන අතර, බ(ර්)ලෝගේ ආකෘතිය වාචික ආකෘතියකි.

v  ෂැනොන් හා වීව(ර්) ආකෘතිය තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් බලන ආකෘතියක් වන අතර, බ(ර්)ලෝගේ ආකෘතිය සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන ආකෘතියකි.

v  ෂැනොන් හා වීව(ර්)ගේ ආකෘතිය ගණිතමය පදනමක් මත ගොඩනඟා ඇති අතර, බ(ර්)ලෝගේ ආකෘතිය සමාජ විද්‍යාත්මත පදනමක් මත ගොඩනගා ඇත.

v  ෂැනොන් හා වීව(ර්)ගේ ආකෘතිය මඟින් ඝෝෂණ මූලාශ්‍රය ගැන සුවිශේෂ අවධානයක් යොමු කර තිබුණ ද, බ(ර්)ලෝගේ ආකෘතිය තුළින් ඒ පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු කර නැත.

මෙම ආකෘතිවල පවතින විවිධ දුර්වලතා නිසා ඒවා 100% ක් ම සර්ව සම්පූර්ණ යැයි කිව නොහැකි ය. නමුත් මෙම ආකෘති තුළින් සන්නිවේදනය කෙබඳු ක්‍රියාවලියක් ද? එහි ස්වරූපය කෙබඳු වේ ද? යනා දී වශයෙන් අවබෝධයක් ලබා ගැනීමට උපකාරි වේ. ඒ අනුව දැනුම, අදහස්, ආකල්ප එකිනෙකා අතර හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පුද්ගලයා සතු ඥාන සම්භාරය වැඩි දියුණු කරගැනීමට මෙම ආකෘති මඟින් අවකාශය ලැබෙන බව කිව හැකි ය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

කරුණානායක, නන්දන (2007) සන්නිවේදනය ප්‍රභවය සහ ව්‍යාප්තිය. තරංග ප්‍රකාශකයෝ, මුදුන්ගොඩ.

කරුණානායක, නන්දන (2000) සන්නිවේදන විමසුම. සදීපා පොත්හල, කොළඹ 08.

කාරියවසම්, තිස්ස (2002) සන්නිවේදන සහ ජනසන්නිවේදන මූලධර්ම. එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

දිසානායක, විමල් සහ පෙරේරා, සුනිල් සරත් (2000) පුද්ගලයා පරිසරය හා සන්නිවේදනය. එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.




AR/58648
07/5106

1 comment: