Wednesday, January 23, 2013

විශේෂාංග රචනය
           
පුවත්පතක අන්තර්ගත‍ය ‍පිළිබඳ පොදුවේ විමසීමේදී එය ප්‍රධාන අංශ 3 ක් යටතේ වර්ග කළ ‍හැක. එනම්
වෙළඳ දැන්වීම්
ප්‍රවෘත්ති
විශේෂාංග  යනුවෙනි.
                             
ඇතැම් පුවත්පත් තුළ විශේෂාංග සඳහා වෙනම පිටු ඇති අතර එය පුවත්පතේ ස්වරෑපය අනුව වෙනස් වේ.

                  පුවත්පත්  විශේෂාංග යන්න පිළිබඳ ව විවිධ නිර්වචන අර්ථකථනයන් පවතී.

                  “විශේෂාංගයක ඡේද‚ප්‍රවෘත්තියක ඡේදවලට වඩා පුළුල් වේ.එහි භාෂාව සරල මෙන්ම සාහිත්‍යමය විය යුතුය.මේ සෑම උපක්‍රමයක ම  අරමුණ විය යුත තේ පාඨකයාගේ අවධානය රඳවා තබා ගෙන ඒ පිළිබඳ කිසියම් ආස්වාදයක්           අවබෝධයක් ලබා දීමයි.එසේම භාවිතා කරන ඡායාරෑප හා විවිධ රෑප සටහන් විශේෂාංගයට එළියක් ලබා දෙයි.(විශ්වසනීයබවක් හා පුළුල් අරුතක් )”
ජයසුන්දර‚ලාල්(2000)

එසේම        “පුවත්පත්වල පළවන විවරණාත්මක විශේෂ ලිපි ලේඛණ විශේෂාංග ලෙස හැඳින්වේ.ඒවා බෙහෙවින් වාර්තාවලට වඩා වෙනස් වන්නේ පාඨකයා‍ට බොහෝ අතිරේක විෂය කරුණු ඉස්මතු කොට දක්වන බැවිනි.”
                        මහේන්ද්‍ර ‚සුනන්ද(1992)

                 
මේවාට අමතරව විශේෂාංග පිළිබ‍දව මෙවැනි අර්ථකතනයන්ද දැකිය හැකිය.
v  ‘‘ඉක්මනින් ජනතාවට කියවීම සහා වැදගත් පුවතක් වටා ලියවෙන ලිපිය
v  ‘‘ප්‍රවෘත්ති විශේෂාංග නැතහොත් මෘදු ප්‍රවෘත්ති පාදකව පාඨක කියවීමේ රුචියෙන් ලියැවෙන ලිපිය විශේශාංගයයි.”

පුවත්පතක විශේෂාංග පිටුව ලෙස කතුවැකිය සඳහන් පිටුව සලකතත්, එයට පරිබාහිරව වෙනත් පිටුද විශේෂාංග සඳහා යොදාගනු ලබයි. සාමාන්‍යයෙන් ප්‍රධාන පුවත්පත් අධ්‍යයනය කිරීමේදී එහි අඩංගු විශේෂාංග පිටු හෝ ලිපි මෙසේ දැක්විය හැක.
1.      කතු වැකිය ඇතුලත් විශේෂාංග පිටුව
2.      ක්‍රීඩා පිටුව
3.      ආගමික පිටු
4.      කෘෂිකාර්මික සත්ත්ව පාලන පිටු
5.      කාන්තා හා ළමා ‍‍
6.      සෙඛ්‍ය හා සුව සේවා
7.      කර්තෘට ලියුම්
8.      තීරු ලිපි
9.      කෙටිකතා/ගද්‍යය පද්‍යය නිර්මාණ
10.  දේශපාලන

ඉහත ආකාරයට හෝ එයට සමාන ආකාරයට සැකසුණු පිටු වර්තමානයේ පුවත්පත් වල අන්තර්ගතය තුල දැකිය හැකිය. බොහෝවිට සතියේ නියම කර ඇති එක් දිනයකට එක් පිටුවක් විශේෂාංග මාතෘකාවකට හෝ එක් පිටුව අංශ දෙකක් සඳහා යොදා ගනී. එසේම විවිධ ආගමික සංස්කෘතික දින හෝ අවස්ථා සඳහා මෙන්ම කාලීන වශයෙන් වැදගත් ප්‍රදේශ මූලික කරගෙන ද විශේෂාංග රචනාවන ආකාරය දැකගත හැක.
උදා. නත්තල් දිනය,වෙසක් පොහෝ දිනය,නිදහස් දිනය

           පුවත්පතක විශේෂාංග සඳහා එම පුවත්පත ආශ්‍රිතව අනාවරණය වන ප්‍රවෘත්ති වැදගත් තැනක් ගනී. පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් කියැවෙන ප්‍රවෘත්තිය පිළිබඳ ජනතාව තුල දැනුවත් බවක් ලබා දීමට ‘‘විශේෂාංගය” පිටු බලයක් වේ.

           විශේෂාංගය වූ කලී විමර්ශනාත්මක ලිපියක් වශයෙන්ද ප්‍රවීන මාධ්‍යෙව්දීන් පෙන්වා දෙති. ඉහත දැක්වූ පරිදි පුවත්පතේ ප්‍රධාන පුවතින් අනාවරණය වූ වාර්තාව පිළිබඳ සවිස්තර තොරතුරු පාඨකයාට දැනගත හැක්කේ එය විශේෂාංග ලිපියක් වශයෙන් සැකසුනු පසුවය.

           ජනමාධ්‍ය පිළිබඳ විශේෂඥයන් පෙන්වාදෙන ආකාරයට විශේෂාංග ලිපි ප්‍රධාන වශයෙන් අංශ ගණනාවකට බෙදා දැක්වේ. එනම්,
1.      ප්‍රවෘත්ති පාදක කොටගත් විශේෂාංග
2.      කාලීන විශේෂාංග
3.      විචාර වශේෂාංග
4.      චරිත හා පුද්ගල ආශ්‍රිත විශේෂාංග
5.      සම්මුඛ සාකච්ඡා විශේෂාංග
6.      හද කම්පනයට පත්කරන විශේෂාංග

ප්‍රවෘත්ති පාදක කොටගත් විශේෂාංග සැකසීමේදී එම ප්‍රවෘත්තියට අදාලව එහි ආරම්භය,ක්‍රියාකාරිත්වය,සමාජ දෘෂ්ටිකෝණ ආදී සුවිශේෂී අංශ ගණනාවක් අධ්‍යනය කල යුතුය. විශේෂාංග ලිපියකදී පළමු ඡේදයෙන්ම තමන්ගේ ප්‍රවේශය කෙරෙහි පාඨකයා දැනුවත් කිරීම ලිපියේ සරළ බව සහ ගොඩනැගීම සඳහා හොඳ පදනමකි.

යම් යම් කාළීන සිදුවීම් අළලා ලිපි සැකසීමද විශේෂාංග ලේඛණයේ තවත් එක් අංශයකි. මෙහිදී එක් එක් කාල වකවානු තුළ සිදුවන විශේෂ සමරු දින, වසරේ නියම කරගත් සුවිශේෂ දින හෝ අවස්ථා ඉලක්ක කර ගනිමින් ලිපි සකස් කරගනු ලැබේ.

විවිධ කෘති ලේඛණ සහ විවිධ කාලීන කරුණු කෙරෙහි විවේචනයන් සහිත ලිපි විචාර විශේෂාංග ලෙස දැක්වේ. මුද්‍රිත පොත්පත්, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය ආදිය පිළිබඳ ගුණ ‍දොස් විචාරය මෙම විචාර විශේෂාංගය යටතේ සිදුවේ. මේ යටතටම වැටෙන තවත් එක් අංශයකි චිත්‍රපට විචාරය. මෙවැනි විශේෂාංග රචනයේදී අදාල ක්ෂේත්‍රය පිළිබඳ දැනුම, අවබෝධය සහ ප්‍රවීණත්වය ඇති අයගේ අදහස් ලබා ගැනීම වැදගත් වේ.

            පුවත්පත් විශේෂාංග රචනයේදී තවත් එක් වැදගත් අංශයක් ලෙස සමාජයේ විවිධ සුවිශේෂී චරිත හා පුද්ගලයන් ආශ්‍රිතව තොරතුරු සහ ලිපි සකස් කිරීමද වැදගත් වේ. මෙහිදී විවිධ පුද්ගලයන්ගේ උපන්දින, අනුස්මරණ දින, මෙන්ම සුවිශේෂ ජයග්‍රහණ ඉලක්ක කර ගනිමින්ද මෙම ලිපි සකස් කෙරේ.

            සම්මුඛ සාකච්ඡාද විශේෂාංග ලිපි අතර සුවිශේෂී තැනක් ගනී. මෙම සම්මුඛ සාකච්ඡා බොහෝ විට කාලීන සිදුවීම් සහ ප්‍රවෘත්ති පදනම් කරගෙන පැවැත්වේ.

            සමාජයේ සිදුවන සිදුවීම් ඇතැම්විට ඉතා සංවේදී වේ. වත්මන් සමාජයේ සිදුවන සිදුවීම් සහ පුවත්පත් වාර්තා කියවීමේදී එවැනි සිදුවීම් වැඩි වශයෙන් දක්නට ලැබේ. උදාහරණ වශයෙන් ජනවාරි 1 දින එකම පවුලක අඹු සැමි ඝාතනයක් පිළිබඳ වාර්තා වීම. එනම් නිදි පැදුරේදී දරු දෙදෙනාත් මවත් කපා කොටා පුලුස්සා මරාදමා තිබූ අතර පියා එල්ලී මැරී සිටියේය. මෙවැනි සිදුවීම් ආශ්‍රිත වාර්තා තුළින් හද කම්පනයට පත් කරවන විශේෂාංග නිර්මාණය කළ හැක.

            පුවත්පත් වල පළවන විශේෂාංග පිළිබඳ අර්ථකතනය කරන නිර්වචනයන්ට අනුව ඒවායේ ස්වරූපය, අන්තර්ගතය, දෘෂ්ටිය, ශෛලිය යන කරුණු මත මූලිකාංග කිහිපයක් දැකිය හැක. ඒ අතර

1.      An Extended News Story
අදාල ප්‍රවෘත්තිය සවිස්තරාත්මක රචනයක් ලෙස ලිවීමයි. මෙහිදී ප්‍රවෘත්තියෙන් නොකියවුණු සැඟවුණු තොරතුරු වඩාත් විස්තරාත්මකවත් ඡායාරූප සහිතව සාක්ෂි වශයෙනුත් මේවා ලියවේ.

2.      A  Short Story 
කෙටි කතාවක් වශයෙන් ලිවීම
මෙහිදී විශේෂාංගයක මූලිකාංග පෙන්වා දෙමින්ම කෙටි කතාවක් වශයෙන් ලියවෙන ලේඛණය මේ ගණයට අයත් වේ. මෙහිදී සියලු කරුණු ඊට ඇතුලත්ව ලියැවෙන අතර නැතහොත් තවත් කෙනෙකුට ඒ පිළිබඳව ලිවීමට කිසිවක් ඉතිරි නොකර ලිවීමද මෙහි ලක්ෂණයකි.


3.      Easy Constructed to take the reader through smoothly from the beginning to the end
මෙම ලිපියේදී ආරම්භයේ පටන් අවසානය දක්වා පාඨකයා කිසිදු වෙහෙසකට පත් නොකොට ලියන් ලබන මෘදු විශේෂාංග මේ ගණයට අයත් වේ. මෙමගින් පාඨකයා විනෝදයටත් පහසුවෙන් අවබෝධ කොට ගැනීමටත් පත් කිරීමට සමත් වේ.

4.      Letter type
පාඨකයාට කියවීම පිණිස ලියැවෙන ලිපියක් ලෙස මේ විශේෂාංග වලින් ඔවුන්ට හැී යන්නේ එය තමාට ලියූ ලිපියක් ලෙසයි. පුද්ගලාන්තර සන්නිවේදනය ප්‍රබල ලෙස යොදාගැනීමක් ලෙස මෙය හැඳින්විය හැක.


5.      Personal View
පුද්ගලික දෘෂ්ටියක පිහිටා ලියවෙන මෙබඳු විශේෂාංගයකදී ලේඛකයාගේ ‍‍පෞරුෂය මත පාඨක අවධානයත් ග්‍රහණයත් පවතී.

     
      මේ ආකාරයට විවිධ ස්වරූපයෙන් පුවත්පත් තුළ අන්තර්ගත විශේෂාංග රචනයේදී සැලකිය යුතු කරුණු කිහිපයක් පවතී. මෙහිදී මුල,මැද,අග යන ත්‍රිත්වයම සැලසුමක් මත සකස්විය යුතුය. ඒ අනුව,

v  විෂය තෝරා ගැනීම
මෙහිදී විශේෂ අවස්ථා,සිද්ධි තෝරා ගත යුතුය. එසේම සාමාන්‍ය තත්ත්වයක් තුළ පවතින අසාමාන්‍ය දෙයක්ද විශේෂාංගයක් සඳහා මූලාශ්‍ර කරගත හැක. මෙහිදී විශේෂයෙන් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති ආශ්‍රය කරගෙන විශේෂාංග රචනා වේ.

v  මූලාශ්‍රය රැස් කිරීම
මෙහිදී අවශ්‍ය තොරතුරු රැස් කිරීමේදී නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ යුතුය. මාතෘකාවට අදාළව විශ්විසනීය මූලාශ්‍ර හරහා තොරතුරු ලබාගැනීම මත විශේෂාංගයේ සාර්ථක අසාර්ථක බව රා පවතී. මෙහිදී සම්මුඛ සාකච්ඡා,පුස්තකාල ලේඛණාගාර පරිශීලනය හරහා දැනුම ලබාගත හැක.


v  මූලික සැලැස්ම
තමා රැස්කරගත් තොරතුරු මූලිකව දළ සටහනක් සකසා ඒ හරහා අදාල සිද්ධියේ අවස්ථා සිදුවීම් මතුකර ගත හැක.

v  පුනරීක්ෂණය
විශේෂාංග රචකයෙකුට තමා සකස් කල දළ සැලැස්ම දෙස ප්‍රවීණයෙකු ලෙස මෙන්ම සාමාන්‍ය පාඨකයෙකු ලෙස බැලීමට හැකිවිය යුතුය.

            ඉහත දැක්වූ ආකාරයට විශේෂාංග රචනයකදී රචකයා අවධානයෙන් සිටිය යුතු අතර මෙහිදී යොදා ගන්නා භාෂාව සරළ විය යුතුය. එය කෙටි වැකිවලින් මෙන්ම පහසුවෙන් තේරුම් ගත හැකි විය යුතුය. එසේම රචනය සහා යොදා ගන්නා භාෂාව නිවැරදි විය යුතුය.
            විශේෂාංගයකදී එහි අඩංගුව ඇත්තේ වචන සමූහයකි. වාක්‍ය රැසකි ඡේද කහිපයකි. මේ සියල්ල රසවත්ව හා අර්ථවත්ව ගොනු කිරීම විශේෂාංග රචනයක ස්වභාවයයි. ඇතැම් බටහිර ලේඛකයන් විසින් වාක්‍යයක වචන 20 ක් පමණ තිබිය යුතු බව දක්වා ඇත. නොබෙල් සාහිත්‍ය සම්මානලාභී ගත්කරු සෝල් බෙලෝ විසින් සාමාන්‍ය වැකියක් ලෙස දක්වා ඇත්තේ වචන 11-12 අතර වැකියකි. එසේම ඡේද වෙන් කිරීමේදීද අවශ්‍ය පරිදි ඡේද දැක්විය යුතුය. මේ ආකාරයට ඉදිරිපත්වන විශේෂාංග ලිපි කෙරෙහි පාඨක අවධානය හා ආකර්ෂණය නිරායාසයෙන්ම යොමුවනු ඇත.




ආශ්‍රිත ග්‍රන්ථ

1.      කාරියවසම්, තිස්ස. (1976) ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව,කොළඹ10,ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
2.      ජයසුන්දර, ලාල්. (2000) මාධ්‍ය විශේෂාංගකරණය, නාවලපිටිය, කර්තෘ ප්‍රකාශනයකි.
3.      මාකස් ඩයස්, සිඩ්නි. (2003) සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය, කොළඹ 10.
4.      හපුආරච්චි, අජන්තා (2006) තීරු,කතුවැකි,විශේෂාංග , කොළඹ 10, රත්න පොත් ප්‍රකාශකයෝ.




S.M.S මල්ලිකාරත්න,
AR/ 58920,
AF/07/ 5378.

1 comment:

  1. Can we add an another country's incident as a feature in our country's newspaper?

    ReplyDelete