Thursday, January 24, 2013


කෘෂිකාර්මික සන්නිවේදනය
සන්නිවේදන කාර්යයෙහි යෙදෙන සත්වයින් අතර මිනිසා තරම් ශ්‍රේෂ්ටත්වයට පත් සත්වයින් මිහිපිට නැත. මිනිසා මෙම තත්වය හිමිකර ගත්තේ ඔහු සතුව පවතින බුද්ධියෙනි. එහෙයින් තම අත්දැකිම් ප‍්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනිමට මිනිසාට හැකි වී ඇත.මෙම හැකියාවම භාෂණයට ද රුකුලක් වී තිබේ. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ වර්ධනයට උපකාරී වූයේ ද, භාෂාව කතා කිරිමට හා ලිවීමට මිනිසාට තිබු හැකියාවය. මිනිසා තම සිතෙහි ඇති අදහසක් සංවිධානය කර ඉදිරිපත් කරනු ලබන්නේ භාෂාව මගිනි. නූතන විද්‍යාව හා තාක්ෂණයත්, අධ්‍යාපනයත් කෙරෙන් ඇති වී තිබෙන දියුණුවට හේතු වූයේ ද අදහස් පැහැදිලිව හා අර්ථාන්විතව ප‍්‍රකාශ කිරිමටත්, වටහා ගැනිමටත් මිනිසාට තිබෙන ශක්තිය නිසාය. ‘‘ලෝකය පිරී පවතින්නේ සන්නිවේදනයෙනි’’ (මහේන්ද්‍ර ,1983;4) මෙම සන්නිවේදන ශක්තින් සමාජයට සමීප වූයේ මෑතකදී නොවේ. එය කෘෂිකාර්මික සමාජය ආරම්භයේ දී පටන් දැකගත හැකිවිය.
මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ප‍්‍රධාන තැනක් හිමිවන්නේ ආහාර අවශ්‍යතාවය සඳහාය. මානවයා කෘෂිකාර්මික ජිවියෙකු බවට පත් වන්නේ ගල් යුගයෙන් ෙඩ් යුගයට අවතීර්ණ විමත් සමය. එය සත්ව පාලනයේ ප‍්‍රථම අත්දැකීම වූ අතර එෙඬ්ර ජිවිතය වඩා ස්ථාවර වෙමින් සිය ආහාර බෝග වගා කිරීම මිනිසා විසින් ආරම්භ කරන ලදි. වර්තමානයේ දී සංවර්ධන අධ්‍යයනය තුළ කෘෂිකාර්මික සංවර්ධනය හඳුනාගත හැකි වන්නේ සංවර්ධනයේ ප‍්‍රධාන අංශ හතර වන භෞතික, ආර්ථික, සමාජ, සෞඛ්‍යහා පෝෂණ යන අංශ අතුරින් ආර්ථික සංවර්ධනයේ උප අංශයක් ලෙසයි.
                තොරතුරු, දැනුම, අත්දැකීම්, අදහස් උදහස් හා අභිප‍්‍රායයන් මිනිස් වර්ගයා අතර බෙදා හදා ගැනිමේ ක‍්‍රියාවලිය සන්නිවේදනය යන නමින් හැඳින්වෙන බව පිළිගත් කරුණකි. හැසිරීමට බලපාන ක‍්‍රියාවලියක්ලෙස සන්නිවේදනය හැඳින්වීමට පුළුවන. සංවර්ධනය වන රටවල් ආශ‍්‍රිතව සන්නිවේදනය පිළිබඳ හික්මීම සහ භාවිත කිරීම සංවර්ධන සන්නිවේදනය ලෙස සැලකිය හැකිය. සංවර්ධන සන්නිවේදනය වූ කලී අරමුණු සහිත ක‍්‍රියාවලියකි. සංවර්ධන සන්නිවේදකයා සන්නිවේදනයේ නිශ්චිත අරමුණක් කරා ගමන් කරයි. රටක් හෝ එවැනි පරිපාලන ඒකකයක් හෝ භූගෝලීය කලාපයක් හෝ සුවිශේෂි ප‍්‍රජාවක් හෝ ඉලක්ක කර ගනිමින්, එහි ආර්ථික,සාමාජිය හා භෞතික ආදී සෑම අංශයකම සුබවාදී වෙනසක් ඇති කිරීම සඳහා එම රට, කලාපය හෝ ප‍්‍රජාව විසින්ම හඳුනා ගන්නා ලද නැතහොත් වෙනත් භාහිර පාර්ශවයක් මගින් හඳුන්වා දෙන ලද සන්නිවේදන ක‍්‍රමෝපායක් භාවිතා කිරීම සංවර්ධන සන්නිවේදනය යයි සරළව හඳුනාගත හැකි වේ” (ලියනගේ, 2010 : 36)
සංවර්ධනය වෙමින් පවතින රටවල තොරතුරු සම්පාදනය, අභිපේ‍්‍රරණය, ප‍්‍රබෝදනය හා විනෝදාස්වාදය මෙන්ම ජනමතය ගොඩනැංවීම සංවර්ධන සන්නිවේදනය ප‍්‍රධාන වගකීම් වේ. සංවර්ධනය, සංවර්ධන ව්‍යාපෘති, දැනුම ආදිය පිළිබඳවත්, ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සන්නිවේදනය මඟින් කෙරෙන කාර්යය සංවර්ධන සන්නිවේදනය වේ.මහාචාර්ය විමල් දිසානායකයන් සංවර්ධන සන්නිවේදනය ලෙස විග‍්‍රහ කරන ලද්දේ කිසියම් ජනතාවක් දරිද්‍රතාවයේ සිට වඩාත් දියුණු තත්වයට පත් කිරීමටත්, ආර්ථික වෘද්ධිය ඇති කිරීමටත්, සමාජ සමානාත්මතාව පතල කිරිමටත්,මිනිසාගේ නිසහැකියාවලින් නිසි ඵල ලැබිමටත්, අනුබල දෙන සන්නිවේදනය සංවර්ධන සන්නිවේදනය ලෙසය.
සංවර්ධනයේ ප‍්‍රධාන අංශයක් වන ආර්ථික සංවර්ධනයේ උප අංශයක් ලෙස කෘෂිකාර්මික සංවර්ධනය හඳුනාගත හැකිය. කෘෂිකාර්මික සංවර්ධනයේ ප‍්‍රධාන සංකල්පයක් ලෙස කෘෂිකාර්මික සන්නිවේදනය හැඳින්විය හැකි වේ.කෘෂිකාර්මික සන්නිවේදනය යන්නෙහි සරල අදහස කෘෂිකාර්මික  තොරතුරු හා දැනුම ජනනය, එක්රැස් කිරිම හා බෙදාහැරිම යන සියල්ලේ එකතුවයි. විනෝදාස්වාදය, ප‍්‍රබෝදනය, අභිපේ‍්‍රරණය, ආදි අරමුණුද එහි අන්තර්ගත වේ. කෘෂිකාර්මික සන්නිවේදනය ප‍්‍රධාන වශයෙන් ද්විමාර්ගික වේ.
1)      සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම.
2)      නූතන සන්නිවේදන ක‍්‍රම.
නවීන වුවද සාම්ප‍්‍රදායික වූවද කෘෂිකාර්මික සන්නිවේදනය ඉහත අවශ්‍යතා මත පදනම් විය.පෙරදිග ග‍්‍රාමීය කෘෂිකාර්මික සමාජ රටාවන් තුළ කෘෂිකාර්මික සන්නිවේදනය වෙන්කර හඳුනාගත හැකි නොවේ. එය ඔවුන්ගේ ජීවන රටාවේම කොටසකි. කෘෂිකර්මාන්තය රැකියාවක් නොව එය ඔවුන්ගේ ජිවිතයම විය. එම නිසා කෘෂිකාර්මික සන්නිවේදනය ලෙස සංකල්පයක් වෙන්කර හඳුනාගත නොහැකි විය. එය ඔවුන්ගේ ජනශ‍්‍රැතිය හා බැඳී පවතින්නක් විය. ග‍්‍රාමීය සංවර්ධනයේදී අදහස් දැනුම, ආකල්ප ඇති කිරිමටත්, ජනතා සහභාගිත්වය ලබා ගැනිමටත් පුද්ගලාන්තර සන්නිවේදනය, කණ්ඩායම් සන්නිවේදනය, දෙපියවර සංකල්පය, සාම්ප‍්‍රදායික මාධ්‍ය, මෙන්ම ජනමාධ්‍යය ද සන්නිවේදන මාධ්‍යයන් ලෙස භාවිතා කළහැකි විය.
කාලාන්තරයක් තිස්සේ ගැමි ප‍්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය, විනෝදය සඳහා භාවිතා වන, නූතන තාක්ෂණික මෙවලම් භාවිතා නොවන සන්නිවේදන ක‍්‍රම සාම්ප‍්‍රදායික මාධ්‍ය ලෙස අර්ථ දැක්විය හැකිය. එසේත් නැතහොත් සාම්ප‍්‍රදායික සමාජවල ප‍්‍රභවය ලැබ, ඒවා තුළම ක‍්‍රියාත්මක වූ මාධ්‍ය ගැමි මාධ්‍ය හෙවත් සාම්ප‍්‍රධායික මාධ්‍ය වේ. නෙවිල් ජයවීරයන් සාම්ප‍්‍රදායික සන්නිවේදනය අර්ථ දක්වන්නේ, කෘෂිකාර්මික වූ ගැමි සමාජවල විශේෂයෙන් ප‍්‍රභවය ලැබසන්නිවේදන විධි වෙයි. ඒවා වර්තමාන තාක්ෂණයෙන් බොහෝ දුරට නිදහස්ය. ප‍්‍රකාශනය සඳහා ඒවා දේශිය සංස්කෘතිය ඉවහල් කරගන්නා බවය. සාම්ප‍්‍රදායික මාධ්‍ය සඳහා නිදසුන් ලෙස, ජනකවි, ජනගීත, ජනඇදහිලි, අභිචාර විධික‍්‍රම, කෙම්ක‍්‍රම, විශ්වාස, ගැමිනාටක, රූකඩ, කවි කොළය, ශාන්තිකර්ම, යාතු කර්ම, පුද්ගලාන්තර සන්නිවේදනය, කණ්ඩායම් සන්නිවේදනය, අණ බෙරය, විරිඳුව, ජන නැටුම්, ජන සංකේත, පිංකම්,ජන ක‍්‍රීඩා, ශ‍්‍රමදාන සාකච්ඡහා දේශනා, කොඩි, සංඥා, සංකේත ආදිය දැක්විය හැකිය.
සාම්ප‍්‍රදායික මාධ්‍ය සඳහා තාක්ෂණික කාර්මික මෙවලම් භාවිත නොවේ. මේවා පැවත එනු ලබන්නේ කාලාන්තරයක් තිස්සේ ගැමියන් අතර පැවති කටකතා හා භාවිතය තුළිනි. සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම සීමිතය. ඒවා සඳහා නිශ්චිත අර්ථ පවති. මෙම සන්නිවේදන ක‍්‍රම මඟින් එකවර විශාල පිරිසකට ඇමතීමට නොහැකි වුවත් මේවා තේරුම් ගැනීමට විශේෂ ඥානයක් අවශ්‍ය නොවේ.  ඕනෑම තරාතිරමක අයෙකුට තේරුම් ගැනීමට පහසුවේ. සාම්ප‍්‍රදායික විධි සරලය. සාමාන්‍ය සන්නිවේදන ක‍්‍රම ලෙස න්වාදිය හැකිය. මේවා පරිසර හිතකාමීය. පුද්ගලයාට ආගන්තුක නොවන අතර සමීප බවක් දක්වයි.
නූතන සන්නිවේදන මාධ්‍ය තාක්ෂණික හැකියාවෙන් යුක්තය. මෙය ප‍්‍රධාන වශයෙන් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ලෙ ද්විමාර්ගික වේ.  මුද්‍රිත මාධ්‍යය යටතේ පුවත්පත තුළින් ද විද්‍යුත් මාධ්‍ය යටතේ ගුවන් විදුලිය, රූපවාහිනිය තුළින් ද කෘෂිකාර්මික තොරතුරු සන්නිවේදනය කෙරේ. එය වර්තමානය වනවිට අන්තර්ජාලය දක්වා වර්ධනය වී තිබේ. මෙම සන්නිවේදන මාධ්‍ය තාක්ෂණිකය. පුද්ගලික අංශයට බර වීම හා ලාභ පරමාර්ථයෙන් යුක්ත වී පවතී. මෙහි භාවිත සංඥා, සංකේත තේරුම් ගැනීමට තරමක් අපහසුය. නූතන සන්නිවේදන විධි නාගරික කේන්ද්‍රිය වේ. මේ සඳහා ලැබෙන ප‍්‍රතිචාර, ප‍්‍රතිපෝෂණය අවමය.
කෘෂිකාර්මික සන්නිවේදනයේදී  කෘෂිකාර්මික සන්නිවේදකයාගේ කාර්යභාරය සුවිශේෂිවේ. වර්තමානයේ   කෘෂිකාර්මික සන්නිවේදනය විසිර පවත්නේ මෙම කෘෂිකාර්මික සන්නිවේදකයා වටා බව පෙනේ.  කෘෂිකාර්මික සන්නිවේදකයා විසින් නවීන තාක්ෂණික ඥානය ගොවි ජනතාව වෙත සන්නිවේදනය කිරීම සිදු කරයි. මෙවැනි කෘෂිකර්ම නිළධාරින් අතර කෘෂිකර්ම උපදේශක, ගොවි නියාමක, කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ විද්‍යාඥයින්, ග‍්‍රාම නිළධාරින්වේ.
කෘෂිකාර්මික සන්නිවේදනය ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට පමණක් ක‍්‍රියාත්මක නොවීය. එය නිශ්චිත ධූරාවලියක් ඔස්සේ ඒකමාර්ගික සිදුවූ සන්නිවේදන ශෛලියක්නොවේ. වැඩි වශයෙන් තිරස්ව සිදුවිය. එය කෘෂිකාර්මික ප‍්‍රජාවගේ සමස්ත සුබසාදනයම අපේක්ෂා කරයි. මේ නිසා සමාජය ඒකාබද්ධ කළේය.


ආශ‍්‍රිත ග‍්‍රන්ථ
1)      මහේන්ද්‍ර, සුනන්ද, 1983, සන්නිවේදන ක්ෂේත‍්‍රය හා ජනසන්නිවේදනය, ඇම්. ඩී.ගුණසේන සහ  සමාගම, කොළඹ
2)      රාජපක්ෂ, චන්ද්‍රසිරි, 1998, කුඩා කණ්ඩායම් සන්නිවේදනය, රත්න ප‍්‍රකාශයෝ¸ කොළඹ.
3)      ලියනගේ, චමිල, 2010 කෘෂිකාර්මික සංවර්ධනය හා ප‍්‍රාදේශිය ගුවන් විදුලිය, සඳකඩපහප‍්‍රකාශන, වැලිවේරිය
4)      වලේබොඩ, කමල්, 2010, කුඩා කණ්ඩායම් සන්නිවේදනය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
5)      විතානගේ, චන්ද්‍රසෝම, තුන්වනලෝකයේ සංවර්ධන සන්නිවේදනය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ
D.Nayana Ruwan
AR/59038
07/5496

No comments:

Post a Comment