Friday, February 6, 2015


ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්භවය

මානවයා ශිෂ්ටාචාර ගතවීමත් සමඟ එකිනෙකා අතර අන්‍යොන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ක්‍රම කමයෙන් වර්ධනය විය. මානවයා සතුව පැවති තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව තීවුර වීමත් සමඟ තොරතුරු ලබාගැනීමේ සන්නිවේදන ක්‍රම ද වර්ධනය විය. අන්තර්ජාලය (Internet) වැනි නවීන තාක්ෂණික ප්‍රපංචයන් බිහිවීමට අඩිතාලම වැටුනේ මෙම මානව අවශ්‍යතාව මතයි.

අන්තර්ජාලය යනු කුමක්දැයි විමසා බැලීමේදී ඒ සඳහා විවිධ පුද්ගලයන් විසින් විවිධාකාර නිර්වචන ඉදිරිපත් කර තිබේ.

අන්තර්ජාලය යනු ජාලයන්ගේ ජාලයයි.(Network of Networks) එනම් 40,000 ක් පමන වු ස්වකීය ජාලයන් සංඛ්‍යාවක් අන්තර්ජාලය සතුය. අන්තර්ජාලය හා සම්බන්ධ වන විට ග්‍රාහක පරිගණකය ලෝක ව්‍යාප්ත ජාලයේ තවත් කොටසක් බවට පත්වේ. (http://www.globelcenter.net.gcweb.tour.html)

“අන්තර්ජාලය යනු පරිගණක ජාලයකි. දහස් ගණනක් වු ජාලයන් සමඟ එක්වී රටවල් 100 කට අධික මිලියන 20 කට වැඩි ජනතාව මෙම ජාලයේ සැරිසරති. අන්තර්ජාලය සතුව හිමිකරුවෙකු නොවන අතර ලෝකයේ කිසිවෙකුට පාලනය කළ නොහැකි අතිමහත් වු තොරතුරු ප්‍රවාහයක් ඒ තුළ අන්තර්ගත වේ. විද්‍යුත් ලිපි හුවමාරුව, අන්තර්ක්‍රියාකාරී සමුළු, ෆයිල් හුවමාරුව හා ජාලගත තොරතුරු ලබා ගැනීම ආදී වු විවිධ කාර්යයන් සඳහා අන්තර්ජාලය භාවිත කරයි. මේ අනුව ලෝක ව්‍යාප්ත ජාලය තුළ සැරිසරන ලෝකය පුරා ව්‍යාප්ත වී සිටින දස  දහස් ගණනක් වු ජනතාව තම නිවසේ, පාසලේ හෝ සේවා ස්ථානයේ සිට විවිධාකාර තොරතුරු ලබාගනිමින් තම තොරතුරුද අන්තර්ජාලයට එක් කෙරේ. (http://www.mathsltedile/local/junk/guide)

ඉහත නිර්වචනයන් මඟින් අන්තර්ජාලයේ ස්වරූපය, කාර්ය භාර්ය, තාක්ෂණය ආදිය වටහා ගත හැකිවේ. 1960 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Defense in united states of America) තම යුද කටයුතු සඳහා පරිගණක තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳ සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලය බිහිවිය. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ධනවාදී අවශ්‍යතාවයන් ඉටුකරගැනීමේ මෙවලම් ලෙස අන්තර්ජාලය නිර්මාණය විය.

අන්තර්ජාලය ලෝකයට බිහිවී දශක කිහිපයක් ගතවීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ද භාවිතය ඇරඹිණි. ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට අන්තර්ජාල මාධ්‍යය හා එක්වීමේ අවස්ථාව සිදුවුයේ 1994 දීය. එය මොරටුව විශ්ව විද්‍යාලයේ මැදිහත්වීමෙන් සිදුවිය. ඒ කෙසේද යත් රාජ්‍ය අනුග්‍රහය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා විද්වත් අත්හදා බැලීම් හා පර්යේෂණ ජාලය (LEARN – Lanka Experiential Academic Research Network) ආරම්භ විය. මෙම පර්යේෂණ ජාලය පිහිටුවන තුරු ශ්‍රී ලංකාවට අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් නොලැබුනු අතර ශ්‍රී ලංකා විද්වත් අත්හදා බැලීම් හා පර්යේෂණ ජාලයේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාවට හදුන්වාදුන් අන්තර්ජාලයට ප්‍රථමයෙන් එක්වන්නේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ නියැලි පුද්ගලයන්ය. ප්‍රථමවරට ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හදුන්වාදෙනු ලැබුයේ 1995 වර්ෂයේ අප්‍රියෙල් 25 වනදාය. අධ්‍යාපන හා පර්යේෂණ කටයුතුවල නිරත වුවන් ප්‍රථමයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වී ඇත්තේ අන්තර්ජාල ප්‍රොටකෝලයක් ආධාරයෙනි. එය තත්පරයට කිලෝ බයිට් 64 ක (64Kbs) ධාරිතාවයකින් යුත් ‘Lease Line එකක් මත ක්‍රියාත්මක වුවකි. මොරටුව විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පිහිටවු මෙම පරිගණක ජාල පද්ධතියට පසුව කොළඹ විශ්ව විද්‍යාලය ද විවෘත විශ්ව විද්‍යාලය ද එක් විය.

මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යාපන අංශය (Department of computer Science & Engineering of the University of Moratuwa) මගින් ප්‍රථමවරට විද්‍යුත් තැපෑල (Email) ශ්‍රී ලංකාවට හදුන්වාදෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාල සේවා සපයන ආයතනය වශයෙන් ලංකා ඉන්ටනෙට් සමාගම (Lanka Internet Service Ltd) 1995 වර්ෂයේදී ආරම්භ වේ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අන්තර්ජාලය පරිහරණය කිරීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම ආයතනය ඇරඹෙයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අධිකාරියේ අනුමැතිය ලබා මෙම සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්හි ඉන්ටනැෂනල් ඉන්ටර්නෙට් සහ ශ්‍රී ලංකාවේ සීමාසහිත එස්පේ ඉලෙක්ට්‍රොනික්ස් (පෞද්ගලික) සමාගම එක්ව පිහිටුවාගත් හවුල් ව්‍යාපාරයකි. මෙම කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සන්නිවේදන ධාරිතාව අවම මට්ටමක පැවතීමත්, අන්තර්ජාල තාක්ෂණය සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීමත් යන හේතු කාරනා මත ශ්‍රී ලාංකිකයන් අතර ශීඝ්‍රයෙන් අන්තර්ජාලය ව්‍යාප්ත නොවුණි. නමුත් රාජ්‍ය ආයතන කිහිපයක් හා නැව් සමාගම් කිහිපයක් මෙම නවීන තාක්ෂණය භාවිත කර තිබේ. ලංකා ඉන්ටර්නෙට් සමාගම මගින් විද්‍යුත් ලිපි හුවමාරුවට (e-mail), ලෝක ව්‍යාප්ත ජාලය ප්‍රවේශවීමට, ටෙලිජාල(Telnet) සේවය ලබා ගැනීමට ෆයිල් හුවමාරු කර ගැනීමට මෙන්ම ගොපර් (Gopher) සේවය ලබා ගැනීමට ද ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන ලදී.

මේ අනුව ප්‍රථමවරට මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා විද්වත් අත්හදා බැලීමේ හා පර්යේෂණ ජාලය (LEARN) අන්තර්ජාලයට සම්බන්ධ වුවද ව්‍යාපාරික වශයෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ කළ පළමු අන්තර්ජාල සේවා සපයන ආයතනය නම් ලංකා ඉන්ටනෙට් සමාගමයි. ලංකා ඉන්ටනෙට් සමාගම ප්‍රාදේශීය පරිගණක ජාල (LAN) හා පුළුල්ව විහිදුනු විශාල පරිගණක ජාල (WAN) උපයෝගි කර ගනිමින් ගුවන්විදුලි මෝඩම් සම්බන්ධතාව (Radio Modem Connection) හරහා අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීමට ක්‍රියාකර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරම්භ වු දෙවන අන්තර්ජාල සේවා සපයන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පිහිටුවනු ලැබීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ජාතික දුරකථන පද්ධතියේ යටිතල පහසුකම් ව්‍යාප්ත කරමින් ‘ලීස් ලයින් (Lease line), ‘ඩයල් අප්’ (Dial Up) යන ක්‍රම දෙක ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව හිමිකර දී තිබේ.

පසුකාලීනව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනද අන්තර්ජාලය හා සම්බන්ධවේ. 1995 සැප්තැම්බර් 10 වන දින ලේක්හවුස් ආයතනය විසින් මුද්‍රණය කරන ‘Sunday Observer’ පුවත්පත හා ප්‍රථම වරට අන්තර්ජාලයට එක්වු පුවත්පතයි. ‘Ceylon daily news’ පුවත්පතද අනතුරුව අන්තර්ජාලයට සම්බන්ධවෙයි. මෙසේ එක්වු සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සාක් කලාපයේ අන්තර්ජාලයට සම්බන්ධවු පුවත්පත් අතලොස්සට ඇතුළත් වෙයි. අන්තර්ජාලයට එක්වන ප්‍රථම සිංහල පුවත්පත වුයේ විජය පුවත්පත් සමාගමට අයත් ලංකාදීප පුවත්පතයි. ඒ 1997 අප්‍රේල් 11 වනදාය.

1996 මාර්තු මාසයේදී ඉන්ටනෙට් අවන්හල් හෙවත් සයිබර් කැෆේ දෙකක් කොළඹදී ආරම්භ කෙරුනි. එකක් ආරම්භ කෙරුනේ කොළඹ යුනියන් පෙදෙසේය. සීමාසහිත සයිබර් කැෆේ පුද්ගලික සමාගම විසින් මෙම අවන්හල ආරම්භ කර තිබෙන්නේ ඉලෙක්ට්‍රොටෙක් නෙට්වර්ක් සර්විසස් නමැති ඉන්ටනෙට් සේවා සපයන ආයතනයෙත් සහයෝගය ඇතිවය. අනෙක් සයිබර් අවන්හල ආරම්භ කෙරුනේ කොළඹ ගලධාරි හෝටලයේය. ලංකාවේ හෝටලයක ආරම්භ කෙරුනු මුල්ම සයිබර් අවන්හල වන මෙය සම්බන්ධ වී සිටින්නේ සීමාසහිත ලංකා ඉන්ටර්නෙට් සමාගම හා අයිටෙක් ඉන්ටවේෂන්ස් සමාගමය. එමෙන්ම 1996 ජනවාරි 27 වැනිදා ලංකා ඉන්ටර්නෙට් සමාගම ආරම්භ කල ‘ලංකා ව්‍යාපාර ජාලය’ විදේශිය ව්‍යාපාරිකයන්ට මෙරට වෙළඳ තොරතුරු ලබාදෙන දොරටුවක් බවට පත්වී තිබේ.

විශ්ව තලයේ ඉමක් කොණක් නැති නිම් වළලු ඔස්සේ විවිධ තොරතුරු ලෝපුරා යවන අති ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් හැටියට පිළිගැනෙන අන්තර්ජාලය මෙලෙස ශ්‍රී ලංකාව තුළ සම්භවය ලැබීය. වර්තමානය වන විට මෙම ජාලය ශ්‍රී ලංකාවද ඇතුළුව මුළු ලොවට එකට බැඳ තබන සන්නිවේදන බැම්මක් බවට පත්ව තිබෙන බව මනාව පැහැදිලිය. මුළු ලොවම සැණෙකින් අත්ලට ගෙනෙන අන්තර්ජාලය විස්මයජනක සන්නිවේදන මෙවලමකි.මෙය තොරතුරු යුගය බිහි වීමට කේන්ද්‍රීය වූ ප්‍රබල නව මාධ්‍යකි.

AR/65224

H.A.M.S.K. Weerasingha.

No comments:

Post a Comment