Saturday, February 7, 2015

                              මොබයිල් එකක් 

                                               කළ වෙනසක්


            විද්‍යාවේ හා තාක්ෂණයේ වර්ධනය හේතුවෙන් තාක්ෂණික උපකරණයන්හි වර්ධනය ඇතුලූ ගැඹුරු විපර්යාසයන් රැසක් සිදු විය. ඒ අතර වර්තමානයේ බහුලව භාවිතා වන සන්නිවේදන උපකරණයක් ලෙස ජංගම දුරකථනය හදුනා ගත හැකිය 1947 ජුනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ මිසුරි ප‍්‍රාන්තයේ තිබෙන සුන්දර නගරයක් වන ශාන්ත ලූසියාවේ වාහනයක් පදවමින් සිටින එක රියැදුරෙක් තම මෝටර් රථයේ ඩෑෂ් බෝඞ් එක යටින් ඇද ගත් දුරකථනයකින් රැහැන් සහිත දුරකථනයකට ඇමතුමක් ලබා දී තිබේ. තම මෝටර් රථයේ සිට ඔහු ලබා දුන් ඇමතුම ලෝක ඉතිහාසයේ ජංගම දුරකථනයකින් ලබා දුන් පළමු ඇමතුම වී තිබේ. මෙකී කටයුත්තේදී මූලික වී ඇත්තේ ඇමරිකාවේ මෙන්ම ලෝකයේ ප‍්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන ඒ.ටී.ඇන්ඞ්.ටී සමාගමේ බෙල් පර්යේෂණාගාරයේ පර්යේෂකයෝ තුන් කමිටුවකි.

           කෙසේ වුවද ඒ කාලයේ තිබූ විවිධ තාක්‍ෂණික බාධක නිසා දුරකථන ඇමතුමක් ලබා ගත හැකිව තිබෙන්නේ එකවර කිහිප දෙකනුට පමණි. මෙතැන් පටන් ජංගම දුරකථන තාක්ෂණය අද පැමිණි දුර දක්වා පැමිණෙන්නට බොහෝ තැන්වල පර්යේෂණ අත්හදා බැලීම් සිදුව තිබේ. මේ අතරින් තීරණාත්මක මෙන්ම සාර්ථකම පියවර තබන්නේ ඒ.ටී.ඇන්ඞ්.ටී. සමාගමේම පර්යේෂක දෙපළක් වන රිචඞ් ෆ‍්‍රැන්කියෙල් සහ ජෝ එන්ජල් යන දෙදෙනාය. අද වන විට මේ සා දියුණුවට පත්ව ඇති සමාජයට ආර්ථිකයට මෙන්ම පෞද්ගලික ජීවිතවලටද තීරණාත්මක මෙවලමක් බවට පත් වන්නේ ඔවුන්ගේ නව නිර්මාණයේ මහිමයෙනි.

              මෙයින් පසුව අද වනවිට ජංගම දුරකථන තාක්ෂණය නූතන තොරතුරු තාක්ෂණය ද සමග එක්ව විශාල ගමනක් ගොස් ඇත. මේ වන විට ඇමරිකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් වැඩිපුරම භාවිත කරන්නට හුරුව සිටින්නේ ජංගම දුරකථනය බව හෙළිදරව් වී ඇති අතර ඒ සදහා වෙළෙදපොළට පැමිණ ඇති ස්මාර් ෆෝන් මහත් ජනප‍්‍රියත්තවයක් ලබමින් අලෙවි වන බව වෙළද ලොව වාර්තා සදහන් කරයි. කෙසේ වුවද අපරදිගට වඩා ජංගම දුරකථනය පිළිබද ලෝක අවධානය යොමුව තිබෙන්නේ පෙරදිග දෙසටය. ඒ තාක්‍ෂණික පහසුකම් අඩු, දියුණු වෙමින් පවතින රටවල් වැඩි,  පෙරදිග සහ අප‍්‍රිකානු රටවල ජංගම දුරකථන මගින් පෙර නොවූ විරූ කාර්යයක් සිදු කිරීම නිසාය.

                මුලින් සුබෝපභෝගී සන්නිවේදන මෙවලමක් ලෙසින් කරළියට පැමිණියද අද වන විට එය අත්කරගෙන ඇති තැන පිළිබදව හොදම ප‍්‍රකාශය කරන්නේ ඇමරිකාවේ සංවර්ධනය පිළිබද මහාචාර්යවරයෙකු වන ජෙෆ්රි සැක්ය. ඔහු පවසන්නේ මෑත කාලීන ඉතිහාසයේ සංවර්ධනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ යම් උපකරණයක් වේ නම් එය ජංගම දුරකථනය බවය.

             ශ‍්‍රී ලංකාවේ පවා 1990 දශකයේ මුල් භාගයේදී ජංගම දුරකථනය හැදින්වූයේ සුබෝපභෝගී සන්නිවේදන උපකරණයක් ලෙසින්ය. එහෙත් වසර කිහිපයක ඇවෑමෙන් මේ තත්ත්වය වෙනස් විය. විශේෂයෙන්ම මුලින් තිබූ ඇනලොග් තාක්ෂණය වෙනුවට ජංගම දුරකථන සදහා ජී.එස්.එම්. ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයේ ආගමනයත් සමගම මෙය සාපේක්ෂව අඩු වියදමකින් ව්‍යාපාර කිරීමට සමාගම්වලට ඉඩ ලැබුනේය. මෙම සමාගම් දෙවනුව උත්සාහ කළේ අඩු ආදායම් ලබන පුද්ගලයන් අතටද මෙය පත් කිරීමය.

              මෙරට මුල්ම ජී.එස්.එම්. ජාලය වන ඩයලොග් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසා ඇත්තේ ඔවුන් ජංගම දුරකථනයටද පෙර ගෙවුම් සේවා සහ රීලෝඞ් වැනි ගෙවීම් පහසුකම් හරහා සැෂේ සංකල්පය හදුන්වා දුන් බවය. මේ තත්වය නිසා අතේ ඇති මුදලට සමාන ජංගම දුරකථන ගිණුමක් පවත්වාගෙන යෑමට ග‍්‍රාහකයන්ට හැකි විය. මේ තත්වය නිසා, ඉතා කෙටි කලකින් මෙරට දුරකථන පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාවද මිලියනය, දෙක, තුන ආදී වශයෙන් ඉහළ යෑමට පටන් ගෙන තිබේ.

              ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල දුරකථනය ව්‍යාප්ත වීමට ප‍්‍රබලව බලපෑ තවත් හේතුවක් නම් පෙර ගෙවුම් පැකේජ හදුන්වා දීමය. මෙහිදී පසු ගෙවුම් සේවාවකදී මෙන් නොව පෙර ගෙවුම් සේවාවකදී අදාළ සමාගමටද දැරිය යුතු අවදානම අවම වේ. බිල් යැවීම හෝ ණය ඉල්ලා ග‍්‍රාහකයන් පසුපස පැන්නීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම අතේ ඇති මුදලට තම දුරකථනයේ ගිණුම් වැඩිකර ගත හැකි නිසා මෙය භාවිත කරන්නට ද පහසුවක් වී තිබේ.

                 දියුණු වෙමින් පවතින රටවල ජංගම දුරකථන ව්‍යාප්ත වීම කෙරෙහි බලපෑ තවත් සාධකයක් ලෙස එය ගැමි ආර්ථිකයට උරදෙන උපකරණයක් බවට පත් කිරීම සදහන් කළ හැකිය. මෙයට පූරවාදර්ශය සැපයුයේ සහ පුරෝගාමී  කාර්යයක් කළේ බංගලාදේශයය. බංගලාදේශයේ කාන්තාවන් ජංගම දුරකථන මගින් ජංගම කොමියුනිකේෂන් ව්‍යාපාරයේ නියැළෙන අයුරු දැක ගත හැකිය. ලෝක ප‍්‍රකට ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් වන ග‍්‍රාමීන් ව්‍යාපාරය මගින් මෙම බංගලාදේශ ගැමි කාන්තාවන්ට ජංගම දුරකථනයෙන් ණය සහන පදනම යටතේ ලබාදෙන අතර මෙම කාන්තාවන් කරන්නේ එය රැගෙන ගමේ ගෙවල් ගානේ යෑමටය. එහිදී ඔවුන්ට යම් සන්නිවේදන අවශ්‍යතාවක් තිබුණහොත් දුරකථන ඇමතුමක් තම දුරකථනය මගින් ලබා දෙන අතර එයින් ලැබෙන ආදායම අදාළ ණය ගෙවීමට මෙන්ම තම දරු පවුලේ ආර්ථිකයට උර දීමටද ප‍්‍රමාණවත්ය. මෙම සංකල්පය පසුව ඇෆ්ගනිස්ථානයටත් තවත් අප‍්‍රිකානු රටවල් කිහිපයකටත් ව්‍යාප්ත වූ බව සදහන් වේ.

               පෞද්ගලික අංශයට මෙය ව්‍යාපාරයක් ලෙසින් කර ගෙන යාමට සලසා ඇති ඉඩකඩ හේතුවෙන් මෙය ශීඝ‍්‍රයෙන් රටවල ව්‍යාප්ත වී තිබේ. සෑම රටකම ජංගම දුරකථන මෙහෙයුම් ජාලා කිහිපයක්ම ඇති අතර මෙම සමාගම් එකිනෙකා අතර පවතින තරගකාරී පසුබිම තුළ ඉතා ඉක්මනින් ජනතාවට සහනදායී ලෙස දුරකථන වෙළදපොළ පුළුල් කිරීමටද කටයුතු කරයි.

              ජංගම දුරකථනය මෙතරම් ජනප‍්‍රිය අංගයක් වීමට බලපාන තවත් සාධකයක් වන්නේ මෙම උපකරණයේ පවතින අඩු මිල ස්වභාවයයි. මුලදී ජංගම දුරකථනයක් මිලදී ගැනීමට රුපියල් පනස් දහසක් පමණ වැය වුවද අද ඉතා අඩු මුදලකට අලූත්ම දුරකථනයක් හිමිකර ගැනීමේ අවස්ථාව ජනතාවට පෑදී ඇත. නොකියා පර්යේෂකයන් පවසන්නේ මෙම කරුණ ද ජංගම දුරකථනය ව්‍යාප්ත කෙරෙහි බලපෑ බවය.

           නොකියා සමාගමේ සන්නිවේදන පර්යේෂණ අංශයේ ප‍්‍රධානියෙකු වූ ජුසි ඉම්පියො පවසා ඇති පරිදි ජංගම දුරකථනයට අද ව්‍යවසායකත්වයේ දොරගුළු හැර දැමීමට හැකියාවක් ලබා දී තිබේ. ඔහු දක්වා ඇත්තේ හුදෙක් සාමාන්‍ය පණිවුඩ ලබා දීමෙන් ඔබ්බට ගිය සේවා සහ වෙළෙදපොළ අවස්ථා ග‍්‍රහණය කර ගැනීමේ උපකරණයක් ලෙස අද සුළු සහ ක්ෂූද්‍ර මට්ටමේ ව්‍යවසායකයන් දුරකථනය දකින බවය ගොවීන්ට සහ ධීවරයන්ට තමන්ට හොදම මිලක් ලබා ගත හැකි ආකාරය, වෙළෙදපොළ තොරතුරු මෙන්ම මේසන්වරුන්, වඩු කාර්මිකයන්, විදුලි සහ පයිප්ප සේවා යෝජකයන් සොයා ගැනීමට අවස්ථාව හුදෙක් පහන් කණුවක තම දුරකථන ඇමතුම සහිත බෝඞ් ලෑල්ලක් එල්ලීමෙන් පමණක් ලබා ගත හැකි තත්වයකට අද දියුණු වී තිබේ.

             එපමණක් නොව, වර්තමානයේ ජංගම දුරකථනය වාණිජ්‍යමය වශයෙන් ද භාවිතා වන තත්ත්වයක් දක්නට ලැබේ. අද ඇතැම් ගනුදෙනු හුවාමාරුව සිදු වන්නේ මෙකී ජංගම දුකරථනය හරහාය. මේ වන විට අපේ රටෙහිද ජංගම දුරකථනයක් මගින් තවත් ජංගම දුකරථනයකට හෝ වෙනත් ගිනුමකට මුදල් මාරු කිරීමට පවා හැකියාව දැන් ලැබී තිබේ. අද වන විට අප‍්‍රිකානු ටැක්සි රියදුරන් ජංගම දුරකථන හරහා මුදල් හුවාමාරු කර ගනු ලබයි. ඊට හේතුව සොර සතුරන්ගෙන් වන හානිය ඒ හරහා අවම වන බැවිනි.

           මේ අනුව ඉහත සලකා බලන ලද සියලූ කරුණු අනුව පෙනී  යන්නේ ජංගම දුරකථනයක් මගින් සමාජයට සිදු කර ඇති බලපෑම සුළුවෙන් තැකිය නොහැකි වන බවයි.

මූලාශ‍්‍ර


අත්තනායක බන්දුල,වසර 2000 තෙක් ජනමාධ්‍ය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන,සරස්වතී ප‍්‍රකාශන,2000
පෙරේරා සුනිල් චන්ද්‍රසිරි,දුරකතනය සහ එහි ප‍්‍රයෝජන,කතෘ ප‍්‍රකාශකයෝ,1998
පෙරේරා සුනිල් චන්ද්‍රසිරි,දුරකතනය සහ පාරිභෝගිකයෝ,ජංගම දුරකතනය,කතෘ ප‍්‍රකාශනයෝ,2004


AR /64968
AF/09/6666
S.T Maduvanthi

No comments:

Post a Comment