Saturday, February 7, 2015


                  
                                     
 
අන්තර්ජාලය කළ බලපෑම සාකච්ඡා කිරීමට මත්තෙන් රූපවාහිනී මාධ්‍ය යන්න හදුනාගත යුතුය. ඉංග්‍රිසි භාෂාවේ එන Television යන වචනය සඳහා සිංහලෙන් රූපවාහිනිය යන වචනය භාවිත කෙරේ. Television යන්නෙහි අරුත “දුර සිට දැකීම යන්නයි. සරලව දැක්වුවහොත් රූපවාහිනිය යනු එක් ස්ථානයක නිපදවෙන රූප සහ ශබ්ද තවත් ස්ථානයකට පිටත්කර යැවීමේ උපක්‍රමයකි. එය සිදුකරනු ලබන්නේ විද්‍යුත් උපකරණ භාවිත කරමින් ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියක් මගිනි. 1970 දශකයේ දී ලාංකේය ජන සමාජයට අවතීර්ණ වන රූපවාහිනි මාධ්‍ය ඉතාමත් ජනප්‍රිය මාධ්‍යයක් බවට වර්තමානයේ පත්ව තිබේ. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එහි ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය සම්මිශ්‍රණය, පරිකල්පනය අවශ්‍ය නොවීම සහ සජීවි බවයි. අනෙකුත් මාධ්‍ය පරිශීලනය සහා සාක්ෂරතාවය සහ පරිකල්පනය අවශ්‍ය වූ නමුත් රූපවාහිනියට එම සීමාවන් බල නොපෑවේ ය.
එම හේතුව නිසාම රූපවාහිනි මාධ්‍ය ප්‍රබල සමාජ පරිවර්තනයකට මග පෑදූ මාර්ගයක් ලෙස පෙන්වාදිය හැකිය. එනම් මැජික් පෙට්ටිය, යකාගේ පෙට්ටිය, ලෝකයට ඇරුණු කවුළුවක්, විද්‍යුත් කතන්දර කරුවෙක්, චිත්‍රපට නැරඹීමේ ගෘහ්‍ය මාධ්‍යයක් ලෙස හැින්වූ රූපවාහිනිය ජන විඥානය තුළ ඊනියා ලොවක් ප්‍රතිනිර්මාණය කිරීමට සමත් විය. ඒ යථාර්ථවත් ලෝකයක් ලෙස සිතූ මිනිසුන් රූපවාහිනිය තුළින් පෙන්වන දෑ ඒ ආකාරයෙන් ම වැළ ගැනීමට පෙළඹුණි. එමගින් යහපත් අයහපත් බොහෝ කාරණා සමාජගත වුණි. එමෙන්ම එමගින් නවෝත්පාදන විසරණය බහුලීකරණය කරන ලදි.
                        ඉහත දක්වන ලද කාරණා ඒ ඒ සමාජවල රූපවාහිනිය භාවිතයේ සීඝ්‍රතාවය අනුව අඩු වැඩි වශයෙන් දැකගත හැකි අතර සංඛ්‍යාංකික තාක්ෂණයේ දියුණුවත් සමග රූපවාහිනියේ ගමන් මග ද යම් පරිවර්තනයකට ලක්ව තිබේ.එමෙන්ම අන්තර්ජාලයේ ආගමනයත් සමග රූපවාහිනී මාධ්‍යට යමි අභියෝගයක් එල්ලවන ආකාරක් දැකගත හැකිය. එනම් රුපවාහිනී මාධ්‍ය පරිශීලනයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමට මිනිසුන් නන්දු වන ආකාරයක් 2000 පමණ වනවිට දැකගත හැකිය. නමුත් මෙහි කැපීපෙනෙන වර්ධනයක් 2010 න් පසුවය. එනම් මෙතෙන් සමාජය තුළ අනන්‍යතාවයක් තහවුරු කරගෙන සිටි රූපවාහිනී මාධ්‍ය විසින් ප්‍රවෘත්ති වෙබ්අඩවි ආරම්භ කරන ලදී.
                         බීබීසී, අල්ජසීරා, රොයිටර්, සීඑන්එන්, ඒපී වැනි ප්‍රබල ප්‍රවෘත්ති වෙබ්අඩවි ලෝකයේ පැවතියද ලාංකේය ජනසමාජය තුළ ප්‍රවෘත්ති වෙබ්අඩවි ආරම්භවන්නේ පළමු වතාවටය.
 
                  
මේ අනුව ලංකාවේ පළමු ප්‍රවෘත්ති වෙබ්අඩවිය ආරම්භ කලේ සිරස මාධ්‍ය ප්‍රමුඛ මහරාජා ආයතනයයි. ඉන් අනතුරුව බහුතරයක් විද්‍යුත් මාධ්‍ය මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නට විය.
 
                          මිනිසුන් කාර්යබහුල වීමත් සමග රූපවාහිනිය නැරඹීමට ගතකළ කාලය සීමා විය. ප්‍රවෘත්තියක් නැරඹීම සඳහා මිනිත්තු 30ක් පමණ රූපවාහිනිය ඉදිරිපිටට වී බලා සිටීමට සිදුවීම මහත් ගැටලුවක් විය. නමුත් අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ්අඩවි මගින් මිනිත්තු දෙක තුනකින් සියලු පුවත් සවිස්තරාත්මකව බලා ගැනීමේ අවකාශය හිමි විය. මෙය මිනිසුන්ට වැඩි වාසිදායක තත්ත්වයක් විය. එනම් පැය ගණන් රූපවාහිනිය ඉදිරිපිටට වී සිටිනවාට වඩා අන්තර්ජාලය හරහා සුළු මුදලක් වැය කොට ප්‍රවෘත්තියක් නැරඹීම වඩාත් වාසි දායක විය. එමෙන්ම තමන්ට කැමති, පහසු වෙලාවක නැරඹීමට හැකි වීම තවත් විශේෂ ලක්ෂණයක් විය. කෙසේ නමුත් මෙම තත්ත්වය බලපෑවේ රූපවාහිනි මාධ්‍යයට පමණක් නොවේ. ගුවන්විදුලිය පුවත්පත යන මාධ්‍යයන්ට ද බලපෑම් එල්ල කළේ ය. ඒ මාධ්‍යය ආයතනවලටද ප්‍රවෘත්ති වෙබ් අඩවි  පවත්වාගෙන යාමට සිදු විය. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ බහුතරයක් රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනි, ගුවන්විදුලි හා පුවත්පත් මාධ්‍ය ආයතන තමන්ට අදාළ වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. එහි ප්‍රවෘත්ති පමණක් නොව ටෙලිනාට්‍ය, ගොසිප්, ඇතුළු අනෙකුත් සෑම වැඩසටහනක්ම අන්තර්ජාලය තුළට මුදා හැරේ.
                                                      
                        ඒ අනුව අදවන විට හිරු ටීවී, ස්වර්ණවාහිණිය, දෙරණ, ස්වාධීන රූපවාහිනිය, සියත ආදී රූපවාහිනි මාධ්‍යය ආයතන තමන්ගේ වෙබ් අඩවියක් පවත්වාගෙන යාම දක්නට ලැබේ. ඊට අමතරව ගුවන්විදුලි හා පුවත්පත් ආයතන ද මෙම ක්‍රමවේදය අනුගමනය කරයි.
                        තාක්ෂණයේ දියුණුවත් මාධ්‍ය අභිසාරිතාවයත් හේතුකොට ගෙන අන්තර්ජාල භාවිතය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. එහිදී මාධ්‍යයන්හි අනන්‍යතාවය තහවුරුකර ගැනීම උදෙසා මෙන්ම රේටින්ස්වල ඉහළ මට්ටමක රැදී සිටීමට තමන්ගේ වැඩසටහන් අන්තර්ජාලය තුළට නිකුත් කිරීමට මාධ්‍ය ආයතනවලට සිදුවිය. ඒ අනුව සෑම මාධ්‍යය ආයතනයක්ම බොහෝ විට පැයකට වරක් හා සෑම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයකින් අනතුරුව තමන්ගේ ප්‍රවෘත්ති අන්තර්ගතය යාවත්කාලීන කිරිම සිදුවේ. එමෙන්ම ප්‍රවෘත්තිවලට අමතරව අනෙකුත් වැඩසටහන් හා ටෙලිනාට්‍ය අවසන් වි මිනිත්තු 30 කින් පමණ ඒවා අන්තර්ජාලයට මුදාහැරීම සිදුවේ.
                        අතීතයේ රූපවාහිනි මාධ්‍යය ආයතන එකම ටෙලිනාට්‍ය කිහිප වතාවක් විකාශය කොට මුදල් උපයා ගත්තද අද එම තත්ත්වය බිඳ වැටී තිබේ. එනම් ටෙලිනාට්‍යයක අද විකාශය වන කොටස අද රාත්‍රියේම අන්තර්ජාලයට මුදාහැරීමට ඔවුන්ට සිදුවන අතර රූපවාහිනි විකාශය තුළින් එය නැරඹීමට නොහැකි වූ සියල්ලන්ම අන්තර්ජාලය හරහා එය නැරඹිම සිදුකරයි. ඒ අනුව රූපවාහිනි ආයතනවලට එකම නිර්මාණය අතීතයේ මෙන් දෙතුන් වරක් අලෙවි කිරීමට හැකියාවක් නොමැත.
                        අන්තර්ජාලය හරහා රූපවාහිනි නැරඹීම තවදුරටත් වර්ධනය විම සීඝ්‍ර ලෙස ඉහළ යාමට කාරණා කිහිපයක් බලපායි. එනම් ස්මාර්ට් ෆෝන් භාවිතය ඉහළ යාම, ජංගම දුරකතනය හරහා අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම, ජංගම මාධ්‍යවල වර්ධනය, වයි-ෆයි තාක්ෂණය දියුණු වීම මෙයට හේතු වේ. වයි-ෆයි හරහා මුදල් වැය වීමකින් තොරව ජංගම දුරකතන උපයෝගීකොට ගෙන තමන්ට පහසු වෙලාවකදී රූපවාහිනී වැඩසටහන්, ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති ආදිය පමණක් නොව චිත්‍රපට ආදිය ද නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට උදාවිය. එය මෙතෙක් අත් නොදුටු තත්ත්වයකි. ඩිජිටල් තාක්ෂණය හා යාන්ත්‍රික ඒකාබද්ධතාවය මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් කළේ ය. ඒ හරහා පහසුවෙන් දත්ත හුවමාරුකර ගැනිමට මාධ්‍යයන්ට හැකියාව ලැබිණි. එමගින් සංවර්ධනීය මාධ්‍යය සංස්කෘතියක් ගොඩ නැගුණි. එසේම ඒ ඒ මාධ්‍යයන්ට අතීතයේ හිමිව තිබූ අනන්‍යතාවයන් තරමක් දුරට හීන වී ගිය අතර මාධ්‍යය ශ්‍රේණිගත කිරිම්වල රැදී සිටීමට අන්තර්ජාලය සමග ඒකාබද්ධ වෙමින් අන්තර්ජාලයෙහි කොටස්  කරුවෙක් බවට පත් වෙමින් ක්‍රියා කිරීමට රූපවාහිනී මාධ්‍යය ආයතනවලට සිදුවුණි. ඒ හරහා නව මාධ්‍යය සංස්කෘතියක් ගොඩනැගුණු අතර එයට බලපෑවේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවයි.
 
                              
 

ආශ්‍රිත ග්‍රන්ථ

1 ඇතුගල ආරියරත්න, රූපවාහිනිය සහ සන්නිවේදනය, රත්න ප්‍රකාශකයෝ, 2008
2 කරුණානායක නන්දන, සන්නිවේදනය, නව ප්‍රවේශයක්, සරසවි, 2004
3 කරුණානායක නන්දන, මානව සන්නිවේදනය, දයාවංශ ජයකොඩි සහ සමාගම, 2004

සී.පී.ඒ.එස්. දමයන්ති
AR/64726
AF/09/6424

No comments:

Post a Comment