Saturday, February 7, 2015


                                   ග‍්‍රාමීය සංවර්ධනය සඳහා නවමාධ්‍යයොදා ගැනීම

ගැමි ජනතාවගේ ජීවන රටාව වඩා උසස් තත්වයෙන් ගත කිරීමට අවශ්‍ය පරිදි ආදායම් තත්වය ඉහළනැංවීම ග‍්‍රාමීය සංවර්ධනය වේ. ගැමි ජනතාවගේ සංවර්ධනය යනු එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගැටළුවකින් තොරව සපුරා ගැනීමට අවකාශය සැලසීම බව සැලකිය හැක. ග‍්‍රාමීය අර්ථ ක‍්‍රමය තුළ පවතින්නේ පවුල කේන්ද්‍ර කර ගත්  පරිභෝජනවාදී ආර්ථික ක‍්‍රමයකි. කෙමෙන් කෙමෙන් සංවර්ධන ඉලක්ක සපුරා  ගැනීමට දරන උත්සාහයේදී ග‍්‍රාමීය ආර්ථිකය තවදුරටත් සරල ආර්ථික කි‍්‍රයාවලීන් මත රඳා පවතින්නේ නැත. පුද්ගල අවශ්‍යතා සංකීර්ණවත්ම ග‍්‍රාමීය ආර්ථිකයද සංවර්ධන විය යුත්තකි. එසේ නොමැතිනම් විවිධ සමාජ ගැටළුවලට මුහුණපාන්නට සිදුවේ.මෙම සමාජ  ගැටළුවලට විසදුම් ලැබීමට නම් ග‍්‍රාමීය සංවර්ධනය වීම සිදුවිය යුතුය.

ඩිජිටල් තාක්ෂණය(සංඛ්‍යාංක තාක්ෂණය)භාවිත කරමින් තොරතුරු  හුවමාරු කරගන්නා මාධ්‍ය නවමාධ්‍ය වශයෙන් සදහන් කළ හැකිය. පරිගනකය,  අන්තර්ජාලය, ජංගමදුරකථනය, මෙම නවමාධ්‍යන්ට අයත්වේ. වේගවත්ව ක්ෂණිකව තොරතුරු  හුවමාරු කරගැනීමේ හැකියාව නවමාධ්‍යන් සතුව පවතී.
ගෝලීය ආර්ථික ක‍්‍රමයක් කි‍්‍රයාත්මක වන අද සමාජයේ සාක්ෂරතාවය යන්න  අභියෝගයට ලක්ව ඇත. ඒ වෙනුවට අද බිහිවී ඇත්තේ බහුමාධ්‍ය  සාක්ෂරතාවයයි.  මේ හරහා පරිගනක තාක්ෂණික දැනුම අන්තර්ජාලය හරහා ගනුදෙනු කරමින් නවසමාජය වෙත පියමනින්නට හැකියාව තිබිය යුතුය.  ග‍්‍රාමීය අධ්‍යාපනික සංවර්ධනය ඇතිකිරීමට නම් මෙම බහුමාධ්‍ය සාක්ෂරතා ඥනය ගැමි දරුවන්ට ලබාදිය යුතුය. මේ හරහා නාගරික  තරගකාරී සමාජයක් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය දැනුම ලැබේ. එමෙන්ම වර්තමාන රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමේ හැකියාවද  ලැබේ. ගෝලීය සමාජයට ගැලපෙන  තාක්ෂණික දැනුමෙන්  සන්නද්ධ වෘත්තීය  සුදුස්සන්  මේ හරහා බිහි වේ. විරැකියාව අවම කිරීම  සදහා නවමාධ්‍ය  තාක්ෂණික දැනුම අත්‍යවශ්‍ය වේ. ශ‍්‍රී ලංකාවේ ගැමි දරුවන්ගේ නවමාධ්‍ය දැනුම ලබාදීම සදහා විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර තිබේ. උදාහරණ වශයෙන්,
        1. නැණසල ව්‍යාපතිය
        2. කොත්මලේ අන්තර්ජාල ව්‍යාපෘතිය
ආදිය දැක්විය හැකිය. මෙවැනි ව්‍යාපෘති හරහා විවිධ පරිගනක පාඨමාලා කි‍්‍රයාත්මක කර නවමාධ්‍ය දැනුම ලබාදේ. පරිගනක ආශි‍්‍රත දැනුම ලබා ගැනීමේදී අන්තර්ජාලය භාවිත කරමින් විවිධ රටවල පවතින අධ්‍යාපනික පාඨමාලා මොනවාද යන්න දැන ගැනීමටත් ඒ හරහා විවිධ රටවල අධ්‍යාපනික අවස්ථාවන් ලබා ගැනීමේ හැකියාවද පවතී. නවමාධ්‍ය හරහා විශ්වයටම විවෘත වූ පොදු කි‍්‍රයාවලියක් අනුගමනය කරන හෙයින් ඒ  ඒ රටවලින් අවශ්‍ය දැනුම ලබාගැනීමේ හැකියාව පවතී.  ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි අන්තර්ජාලය භාවිතය වැඩිදියුණු කිරීමෙන් ඒ හරහා තමාට ලබා ගත නොහැකි දැනුම් අවස්ථාවන්,  රැකියා අවස්ථාවන් රැසක් ළගා කර ගත හැක. විවිධ වෙබ් අඩවි හරහා මෙම අවස්ථාවන්ට පිවිසිය හැකිය. එමෙන්ම දැනුමට අවශ්‍ය තොරතුරු තිබෙන පිටු හා ඒවා බාගත  කරගැනීමේ හැකියාව නවමාධ්‍ය සතුව පවතී. මෙනිසා ගැමිදරුවන්ගේ අධ්‍යාපනික සංවර්ධනය ඇතිකිරීම සදහා නවමාධ්‍ය දැනුම අත්‍යවශ්‍ය බව පැහැදිලි කරුණකි.

සංවර්ධන කි‍්‍රයාකාරකම් ගැමි ජනතාව වෙත  සම්පේ‍්‍රෂණය කිරීම සඳහා සන්නිවේදන මාධ්‍යක් ලෙස නව මාධ්‍ය යොදා ගැනීම වැදගත් වේ. නව මාධ්‍ය ඉතා කාර්යක්ෂම ලෙස ග‍්‍රාමීය සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත හැකිය. ග‍්‍රාමීය කෘෂිකාර්මික ඥානය ලබා ගැනීමට අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන් නවබිජ හදුන්වාදීම,  පැළ හදුන්වාදීම සඳහා ගැමි කෘෂිකර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට අවශ්‍ය දැනුම උපදෙස් ලබාදීම සිදු කළ හැකිය. සාම්ප‍්‍රදායික කෘෂිකාර්මික අදහස්  වෙනුවට නව උපක‍්‍රම, නවීන තාක්ෂණික ක‍්‍රම උපයෝගී කර ගනිමින් කෘෂිකර්මය දියුණු කර ගන්නා ආකාරය පිළිබද දැනුම ලබා ගැනීමට හැකියාව තිබේ. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් නම් අන්තර්ජාලය යොදාගත හැකිවන්නේ කෘෂිකාර්මික ඥානය ලබාගැනීමට පමණක් නොවේ. විවිධ ක්‍ෂේත‍්‍රයන්ගේ දැනුම ලබාගැනීම සදහා නව මාධ්‍ය යොදා ගත හැකිය. එමෙන්ම සීඞී, ඞීවීඞී තැටි ආදී ජංගම මාධ්‍යන් හරහා ගැමියන්ට රූපසටහන් මගින් කෘෂිකාර්මික ඥාණය ලබාදීමේ හැකියාව  තිබේ. ආර්ථික දැනුම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයද මේ හරහා ඇති වී තිබේ. අද වන විට  බණ ඇසීමට පිරිත් සජ්ගායනා ශ‍්‍රවණය කිරීමට මිනිසුන් තුළ පෙර නොවූ  පරිදි උනන්දුවක් ඇති වී තිබේ. සීඞී, ඞීවීඞී පට, MP3 Players  හරහා උදේ සවස මෙසේ ආගමික කටයුතුවලට නැඹුරුතාවක් දක්වයි.

ගැමි ජනතාව තුළ අද වන විට ජංගම දුරකථනය එදිනෙදා භාවිත සාමාන්‍ය මෙවලමක් බවට පත්වී ඇත. මේ හරහා සමාජ මාධ්‍යන්ට පිවිසීමේ හැකියාව පවතී. සමාජ මාධ්‍යන් මගින් තොරතුරු හුවමාරුකර ගැනීමේ හැකියාව ඉතාමත් වේගයෙන් ප‍්‍රචලිත වී ඇත. එමෙන්ම එක් ප‍්‍රදේශයකට හුදෙකලා වී සිටින ගැමි ජනතාවට ලෝකය පුරා සිටින පුද්ගලයන් සමග සබදතා පැවැත්වීමටත් ලොව පුරා තොරතුරු සන්සන්දනය  කිරීමේ හැකියාව පවති. ඒ හරහා තොරතුරු දැනුම බෙදා ගැනීමේ හැකියාව පවතී. ලෝකයේ  එහා කොණක සිටින පුද්ගලයන් සමග ලෝකයේ මෙහා කොණේ සිට සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාවද ඒ හරහා පවතී.
සංවර්ධනය වෙමින් පවතින රටවල ග‍්‍රාමීය අධ්‍යාපනය පහළ මට්ටමක පවතී. මෙනිසා යහපත් සෞඛ්‍ය පුරුදු චර්යා රටාවන් හැඩගස්වා ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වයි. මෙනිසා දරිද්‍රතාවය, ළදරු මරණ අනුපාතිකය වැඩිවීම, මන්දපෝෂණය වැනි ගැටළුවලට මුහුණදීමට ග‍්‍රාමීය ජනතාවට සිදුවේ. කොතරම් අප සංවර්ධනය වෙත ළඟාවී ඇතැයි ප‍්‍රකාශ කළද ශ‍්‍රී ලංකාවේ ගැමි ප‍්‍රදේශයන්හි මෙවැනි ගැටළු පවතී. මෙවැනි ගැටළු විසදා ගැනීම සදහා ජංගම මාධ්‍යන් යොදා ගැනීමේ හැකියාව පවතී. ජංගම දුරකථන, සීඩි / ඩිවිඩි තැටිආදිය යොදා ගත හැකිය. අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් චර්යා රටාවන් ඇතුළත් දර්ශන ජනතාවට ප‍්‍රදර්ශනය කරමින් මෙම දැනුම ලබා දිය හැකිය. සාම්ප‍්‍රදායික මාධ්‍ය මෙන් නොව නව මාධ්‍ය මගින් ආකර්ෂණීය ආකාරයෙන් මෙම තොරතුරු ජනතාව වෙත සම්පේ‍්‍රෂණය කිරීමේ හැකියාව පවතී. ගර්භණී කාන්තාවන්, මව්වරුන් සහභාගී වන සායනයන්වලදී නව මාධ්‍ය උපයෝගී කර ගනිමින් අවශ්‍ය දැනුම ලබා දිය හැකිය. පවුල් සෞඛ්‍ය උපදෙස් අඩංගු සීඩි තැටි ආදිය ලබා දිය හැකිය.

සමාජ මාධ්‍යන් භාවිතා කිරීම හරහා ගැමි ජනතාවට වෙළදපොළක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතී. වෙළෙන්දන් වශයෙන් මෙන්ම පාරිභෝගිකයන් වශයෙන්ද කටයුතු කිරීමේ හැකියාව පවතී. තමන්ට කිසියම් භාණ්ඩයක් විකුණා ගැනීමට අවශ්‍ය නම් සමාජ මාධ්‍යන් භාවිත කරමින් එම භාණ්ඩ පිළිබද දැන්වීමක් පළකර තමන්ට අවශ්‍ය මිල ගණන් යටතේ එය විකුණා ගැනීමේ හැකියාව මෙන්ම අවශ්‍ය කිසියම්  භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාවද පවතී. ikman.lk  අද මිනිසුන් අතර වඩාත් ජනපි‍්‍රය අතර ඒ හරහා බොහෝ පිරිස් තම භාණ්ඩ විකුණා ගැනීම මෙන්ම අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමද සිදුකරයි. මෙහිදී  පැරණි මාධ්‍ය මෙන් නොව ඉතා ක්ෂනිකව, වේගවත්ව මෙම කාර්යයන් කර ගත හැකිවාක් මෙන්ම එයට ලැබෙන ප‍්‍රතිචාරද  එවෙලේම ලබාගත හැකිය. මෙරට පමණක් නොව පිටරටවල පවතින යම් යම් අවශ්‍ය භාණ්ඩද ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. e-bay  වැනි  වෙබ් අඩවි හරහා මෙය සිදු කළ හැකිය.

ග‍්‍රාමීය සංවර්ධන කාර්යයේදී නව මාධ්‍ය යොදා ගැනීම  වඩාත් කාර්යක්ෂම මෙන්ම වඩා ඵලදායී වන බව මෙමගින් පෙනේ. නමුත් ශ‍්‍රී ලංකාවේ තවමත් නව මාධ්‍ය ගැමි ජනතාව  අතර ඉතා විශාල වශයෙන් ප‍්‍රචලිතව ඇති බවක් නොපෙනේ. ග‍්‍රාමීය අධ්‍යාපන මට්ටමේ නොදියුණුව හේතුවෙන් ඇතැම් පුද්ගලයන් නව මාධ්‍ය යනු කුමක්ද යන්න පවා නොදැන සිටීම කණගාටුවට කරුණකි. මොණරාගල ප‍්‍රදේශයේ සිදුකරන නව මාධ්‍ය පිළිබඳ පර්යේෂණයකින් තහවුරු වූයේ නව මාධ්‍ය භාවිතය ඉතා අඩු මට්ටමක පවතින බවයි. මෙනිසා නව මාධ්‍ය ගැමි ජනතාව අතරට ගෙන යා යුතුයි. ග‍්‍රාමීය නාගරික විෂමතාව දුරු කිරීමට නම් මෙවැනි යෝජනා කළ හැකියි. විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි නව මාධ්‍ය භාවිතා කිරීමට  අවශ්‍ය මූලික පහසුකම් සැලසිය යුතුය. දුරකථන සංඥා කුළුණු ග‍්‍රාමීය ප‍්‍රදේශ ආශ‍්‍රිතව සැලසිය යුතුයි. එමෙන්ම 3G  තාක්ෂණය ලබාදීම, WiFi කලාප ඇති කිරීම මගින් ග‍්‍රාමීය ප‍්‍රදේශයන්ට නව මාධ්‍ය ප‍්‍රවේශ කළ හැකිය.

ආශි‍්‍රත ග‍්‍රන්ථ

මධුභාෂීණි ජී .ටී, අන්තර්ජාලය සහ සංවර්ධනය, තරංග ප‍්‍රකාශකයෝ, 2008
සමාජ විමසුම සගරාව, සන්නිවේදනය සංවර්ධනය හා තුන්වන ලෝකය, 1987 කලාපය

AF/09/ 6395
AR/64698
D.M.C.J.Bandara
New Media Usage

1 comment: