Saturday, February 7, 2015



ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ආයතන

 ඉන්ටර්නෙට් හෙවත් අන්තර්ජාලය ලෝකයේ තොරතුරු සුපිරි මාවත ලෙස හැදින්වේ.මෙසේ සම්බන්ධ ‍කෙරෙන ජාල විශාල හා විධිමත් අධ්‍යාපනික පද්ධතිවලින් ද කුඩා සහ අවිධිමත් පද්ධතිවලින් ද සමන්විත වේ.1960 දශකයේ අගභාගයේ දී ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ Advanced Research Project Agency මගින් ආරම්භ කරන ලද ආපානෙට් පරිගණක ජාල ව්‍යාපෘතිය අන්තර්ජාලයේ ආරම්භය සනිටුවහන් කරයි.ඉතාම කුඩාවට ආරම්භ වූ මෙම  ආපානෙට් ජාලය කාලයක් තුළ වර්ධනයවීමෙන් වර්තමාන භාවිත අන්තර්ජාල තත්වයට පත්විය.
            අන්තර්ජාලය මුල් කාලයේ දී ආරක්ෂක කටයුතු සදහා පමණක් භාවිතා කරන ලද හමුදා ව්‍යාපෘතියක් විය.අනතුරුව ශාස්ත්‍රීය ආයතන අතර පර්යේෂණවල හුවමාරු කර ගැනීමේ ක්‍රියාදාමයේ පුරුකක් බවට පත් වූ අන්තර්ජාලය ක්‍රම ක්‍රමයෙන් ශාස්ත්‍රීය,වාණිජ හා ‍පෞද්ගලික භාවිතයන් සදහා මාධ්‍යයක් ලෙස විකාශය විය.එය තවමත් වැඩෙමින් හා වෙනස් වෙමින් පවතී.අනාගතයේදී එය කෙසේ වර්ධනය වනු ඇතැයි අනාවැකි පැවසීම දුෂ්කර කාර්යක් වේ.    
            අන්තර්ජාල සේවාව ලබා ගැනීම සදහා අප විසින් දේශීය වශයෙන් හෝ ප්‍රාදේශීය පිහිටුවා ඇති අන්තර්ජාල සේවා සපයන්නෙකු සමග සම්බන්ධ විය යුතුවන අතර එම සේවා සපයන්නා ජාත්‍යන්තර අන්තර්ජාල සේවාව හා සම්බන්ධ  වෙමින් අප වෙත අන්තර්ජාල සේවා ලබා දෙයි.ශ්‍රී ලංකාවේ ද සිදු වන්නේ මෙවැනිම කටයුත්තකි.වර්තමානය වනවිට ශ්‍රී ලංකාව ද අන්තර්ජාලය හා සම්බන්ධවෙමින් ලෝකයේ අන් රටවල් මෙන් ක්‍රමිකව ගමන් කරමින් සිටී.මෙහිදී මෙම අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ කෙබදු ආකාරයෙන්ද යන්න විමසීමේදී මෙම ලංකාවේ අන්තර්ජාල ආයතනද වැදගත් ස්ථානයක් හිමි කරගනී.මෙම අන්තර්ජාල පහසුකම් සපයන ආයතන අතර ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් පහත පරිදි පෙන්වාදිය හැක.

ü  ලංකා ඉන්ටර්නෙට් සමාගම
ü  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය
ü  ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය(LEARN)
ü  ඉලෙක්ට්‍රො‍ටෙක්ස් ආයතනය
ü  ලංකා කොමියුනිකේෂන් ආයතනය
ü   සීකොම්(CEYCOM) ආයතනය
ü  පෑන් ලංකා ආයතනය
ü  ලංකා කොමියුනිකේෂන්
ü  ඉලැක්ට්‍රෝටෙක්ස් යනු එම ආයතනයි.

v ලංකා ඉන්ටර්නෙට් සමාගම

‘Internet’ යන තොරතුරු සුපිරි මාවත,ශ්‍රී ලංකාවට හදුන්වා දෙන ලද්දේ සීමාසහිත ලංකා ඉන්ටර්නෙට් සේවා සමාගම විසිනි.ඒ 1994 වසරේ ජූලි මාසයේදීය.වර්තමානයේ ඉන්ටර්නෙට් සේවය සපයන ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ බිහි වී ඇත.
ශ්‍රී ලංකා ඉන්ටර්නෙට් සමාගම  කිලෝබයිට් 64ක ධාරිතාවකින් යුත් SEMEWE 2 යටිදිය කේබලය හෙවත් සංදාමය මගින් ලෝක ව්‍යාප්ත (www) ජාලයට සම්බන්ධ වී සිටී.වත්මන් ධාරිතාව කිලෝබයිට් 120 දක්වා ව්‍යාප්ත කිරීමට සමාගම බලාපොරොත්තු වේ.මෙය සමාගමේ සේවා උන්නතියට විශාල පිටුවහලක් වනු ඇත.
ඉන්ටර්නෙට් ජාලය භාවිතකරන්නන් මුහුණපාන ප්‍රධාන බාධකයක් ලෙස දුරකථන බිද වැටීම පෙන්වා දිය හැක. මෙයින් ඉන්ටර්නෙට් ප්‍රවේශය විසන්ධි කෙරේ.මීට පිළියමක් ලෙස ලංකා ඉන්ටර්නෙට් සමාගම දීප ව්‍යාප්ත රේඩියෝ සම්බන්ධතා පිහිටුවා ඇත.ඇතැම් සංස්ථා දැනටමත් මේ පහසුකම් භාවිතා කරයි.
ඩේටා වෝල්ටිං (DATA VAULTING-දත්ත ගබඩා කිරීම) මේ සමාගම සපයන තවත් සේවයකි. මෙයින් තොරතුරු ජාලය තුළ ගබඩා කිරීමේ සහ අවශ්‍ය විට ඒවා කාලීන බවට පත්කිරීමේ හැකියාව සමාගම්වලට ලැබේ.සමාගමක වාර්තා ඇතුළත් ලිපි ලේඛන එකම ස්ථානය‍ක තැබීමේ අවධානම ද අවම කෙරේ.ගොනු කුඩා තැටිවල අන්තර්ගත කිරීමේ වියදම ද අඩු වේ.
මෙම ආයතනයේ සේවාවන් ආරම්භ කර ගනු ලැබුවේ 1995 අප්‍රේල් මාසයේදීය.1995 ජුනි මාසය වනවිට සම්පූර්ණ අන්තර්ජාල පහසුකම්දීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.මේ කාලයට පෙර දත්ත හුවමාරුව බොහෝවිට සිදුවන්නේ හුවමාරු කළයුතු දත්ත සියල්ල ගබඩා කර ඒවා සමූහයක් වශයෙන් එකවරම විකාශය කිරීමයි. (store & forward) මේ සදහා X.25 සහ IDD ක්‍රමය භාවිත කෙරුණු අතර මිල බොහෝ ඉහළ තත්ත්වයක පැවතිණ.පාරිභෝගිකයන් වූයේ බොහෝවිට බහු ජාතික සමාගම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති නැව් සමාගම් ආදියයි.
            ලංකා ඉන්ටර්නෙට් ආයතනය මගින් ජාත්‍යන්තර පරිගණක ජාලය ලංකාවට හදුන්වාදීමෙන් පසු මෙම තත්ත්වය සහමුලින්ම වෙනස්විය.පරිගණකයක්,මෝඩම් උපකරණයක් සහ දුරකථන සැපයුමක් ඇති ඕනෑම කෙනෙකුට ඉතා අඩු වියදමක් ජාත්‍යන්තර ජාලයට සම්බන්ධවීමට හැකිවිය.ආයතනයේ දියුණුව කොතෙක්දයත් ආරම්භයෙන් පස්මසක් ඉකුත්වයාමටත් පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් වන ලේක් හවුස් ආයතනය සමග එකතුව දිනපතා පුවත්පතක් වන  ඩේලි නිව්ස් සහ සති අන්ත පුවත්පතක් වන සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත් ඉන්ටර්නෙට් ජාලය හරහා ක්ෂණයකින් ලෝපුරා බෙදා හැරීමට කටයුතු ආරම්භ කෙරිණි.
            මේ සමගම 1996 වර්ෂය ආරම්භයේදී ලංකා ඉන්ටර්නෙට් ආයතනය මගින් අඩු ගාස්තු ක්‍රමය හදුන්වා දීම නිසා ඉන්ටර්නෙට් ජාලය භාවිතය ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය වීම  ඇරඹුණු අතර එය එදිනෙදා වෙළදාම,වෙළද ප්‍රචාර,ප්‍රවත්ති ආදී නොයෙකුත් කටයුතු සදහා යොදා ගැනීම දැන් සිදු වෙමින් පවතී. ශ්‍රී ලංකාවට මෙම සේවය හදුන්වා දීමට ලංකා ඉන්ටර්නෙට් ආයතනයට රුපියල් මිලියන 55ක් පමණ වැය වී තිබේ.ආරම්භයේදී අන්තර්ජාලයට සම්බන්ධවීමට රුපියල් 15000ක් පමණ වැය වුවද එය බොහෝවිට දැන් අඩු වෙමින් පවතී.මෝඩමයක්,දුරකථනයක් හා පරිගණකයක් ඇති අයෙකුට රුපියල් 500 සිට රු.3000ක් අතර මුදලක් ගෙවීමෙන් තමන්ට අවශ්‍ය සේවාවන් තෝරාගත හැකිවී තිබේ.
            ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධවීමෙන් පසු එය භාවිතා කරන සෑම තත්පරයක් පාසාම විදුලි පණිවිඩ සපයන ආයෝජකයන්ට ගෙවීමටද සිදුවේ.සේවාව අනුව කෙරෙන මෙම ගෙවීමට අමතරව මාසිකව කෙරෙන බදු ගෙවීමක්ද (RENTAL) කළ යුතුව ඇත.සේවාවන් අනුව ‍කෙරෙන ගෙවීම විනාඩියකට රු.2ක් වැනි මුදලකින් ආරම්භ වේ. ඊ මේල් පහසුකම් ඇති වඩාත් පුළුල් සේවයක් ලබාගන්නේ නම් එම මුදල බෙහෙවින් වැඩි වේ.


v ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිය අන්තර්ජාල සේවා ආරම්භ කරනු ලැබුයේ 1995 නොවැම්බර් මාසයේදීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කිලෝබයිට් 64ක ධාරිතාවයෙන් යුත් semewe-2 යටිදිය කේබලය හෙවත් සංදාමය මගින් ලෝක ව්‍යාප්ත ජාලයට (www) සම්බන්ධ වී සිටී.වත්මන් ධාරිතාව කිලෝබයිට් 128 දක්වා ව්‍යාප්ත කිරීමට සමාගම බලාපොරොත්තු වේ.මෙය සමාගමේ සේවා උන්නතියට විශාල පිටුවහලක් වනු ඇත.
           
 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගැනීම ප්‍රධාන කොටස් 02කින් දැක්විය හැක.
1.Dedicated access-වෙන් කරන ලද සේවාව
2.On demand access via Telephone- ඇමතුම්
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත අවශ්‍ය ගාස්තු ගෙවීමෙන් පසු තම කැමැත්ත පරිදි  ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගත හැකිය.අදාළ ග්‍රාහකයන් හට,
1.පරිගණකයක්
2.සන්නිවේදන වේගය 1400bps හෝ ඊට වැඩි බලයක් ඇති මෝඩම් යන්ත්‍රයක්
3.දුරකථන පහසුකම්
ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගැනීම සදහා අවශ්‍ය වේ. 

v ලංකා  අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය(LEARN)

ශ්‍රී ලංකාව තුළ දත්ත හුවමාරුව සදහා මුල්ම උත්සාහය ලෙස ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය(LEARN) හදුන්වා දිය හැකිය.මෙය 1990 වර්ෂයේදී ආරම්භ කළ අතර ශ්‍රී ලංකාව පුරා ඉලෙක්ට්‍රොනික තැපෑල පහසුකම් සැපයීම සදහා මූලික වශයෙන් ක්‍රියා කරනු ලැබීය. 1990 මුල් භාගයේදී මෙය මොරටුව විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කරනු ලැබූ අතර 1995 වර්ෂයේ අගභාගය  දක්වාම එතරම් දියුණුවක් දක්නට නොලැබුණි.1996 වර්ෂයේදී පෙබරවාරි මසදී  LEARN මගින් සම්පූර්ණ අන්තර්ජාල ග්‍රාහක සේවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC-University Grants Commission) මගින් සහ ශ්‍රී ලංකා පරිගණක සහ තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC-Computers and Information Technology Council of Sri Lanka) මගින් ලබාදීම මෙහිලා විශේෂයෙන්ම සදහන් කළ යුතුව ඇත.මෙම ජාල පද්ධතිය සදහා ඒ සදහාම සීමා වූ රැහැන් පද්ධතියක් ඇති අතර ඒවා පරිගණක ජාල පද්ධතීන්ට සම්බන්ධ වී ඇති හෙයින් බොහෝවිට මෝඩම යන්ත්‍රයක සේවය අවශ්‍ය වන්නේ කලාතුරකිනි.මෙම අන්තර්ජාල සේවාව පොදුවේ භාවිතා කළ හැකි එකක් නොවන අතර එය අධ්‍යයන හා පර්යේෂණ කාර්යයන් සදහා කැපවූ විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනවලට පමණක් සීමා වී ඇත.මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලය,මොරටුව විශ්වවිද්‍යාලය,රුහුණු විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙයට සම්බන්ධ වී ඇති අතර අධ්‍යාපනික ආයතන 15ක් පමණ මෙම සේවය Dial-up මාර්ගයෙන්ද ලබා ගනී.1996 ජූලි මාසයේදී The Natural Resoures,Engergy & Science Authority(NARESA) මෙම සේවය    LEARN මගින් ලබා ගන්නා ලදි.

v ඉලෙක්ට්‍රොටෙක්ස් ආයතනය

ඉලෙක්ට්‍රොටෙක්ස් ජාල සේවා ආයතනය ඔවුන්ගේ සේවා 1996 මාර්තු මාසයේදී ආරම්භ කරනු ලැබීය.කැනඩාවේ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ මාර්ගයෙන් සම්බන්ධ වී ඇති මොවුන්ගේ සේවා මූලික වශයෙන් ඉලෙක්ට්‍රොනික තැපෑල හා සම්පූර්ණ අන්තර්ජාල සේවා සැපයීම වුවද විශේෂයෙන්ම ඔවුන්‍ගේ අවධානය යොමු වී ඇත්තේ Corporate Sector සදහාය.

v ලංකා කොමියුනි‍කේෂන් ආයතනය

ලංකා කොමියුනි‍කේෂන් සර්විසස් ආයතනය තමන්ගේ සේවා 1996 ජූලි මාසයේදී ආරම්භ කරනු ලැබීය.ලංකා කොමි නමින් හදුන්වන මෙම ආයතනය සිංගප්පූරුවේ ටෙලිකොම් ආයතනය හරහා ලෝකයට සම්බන්ධ වී සිටී.මොවුන් සියලු ඉලෙක්ට්‍රොනික තැපැල් සේවය,Dial up අන්තර්ජාල සේවය සහ Dedicated අන්තර්ජාල සේවය RF Links සහ loased lines මාර්ගයෙන් ලබා දේ.


v සීකොම් (CEYCOM)ආයතනය

සීකොම් යනුවෙන් ඉන්ටර්නෙට් සේවාව සපයන්නේ (CEYCOM GLOBAL COMMUNICATION LIMITED) සීකොම් ග්ලෝබල් කොමියුනිකේෂන් ආයතනයයි.මෙය සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි. ඒ සමාගම සිය ගනුදෙනුකරුවන් වෙත ඉන්ටර්නේට් සේවාව සැපයීම සදහා වීසැට්(Vast) නැමැති  අග්‍ර උපයෝගී කරගනී.පවතින විදුලි සංදේශ යටිතල පහසුකම් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට මෙයින් ඉතා විශ්වාසදායක සේවයක් සැපයේ.මේ සමාගම අන්තර්ජාතික වෙළද දැන්වීම් සදහා ජාල ස්ථානයක් පවත්වා ගෙන යයි.චන්ද්‍රිකා ඔස්සේ ව්‍යාපාරික ප්‍රජාවට දත්ත හුවමාරු කර ගැනීමේ පහසුකම් සැපයීම සමාගමේ තවත් සේවයකි.චන්ද්‍රිකා පද්ධතියක් භාවිතා කිරීමේ ප්‍රධාන ප්‍රයෝජනය එසේ කිරීමෙන් බලාපොරෙත්තු කාලය අඩු කර ගැනීම සහ දුරකථන බිල්පත් වැළක්වෙන බව යැයි සමාගම පවසයි.

v පෑන් ලංකා නෙට්වර්කින් ආයතනය

1987 වසරේ අප්‍රේල් මාසයේදී ලංකාවේ නවතම ඉන්ටර්නෙට් සේවාව පෑන් ලංකා නෙට්වර්ක් ප්‍රයිවෙට් ලිමිටඩ් (PAN LANKA NETWORKING PRIVATE LIMITED) නමින් හැදින්වේ.
         කැනඩාව,නෝර්වේ හා ශ්‍රී ලංකාව එක්ව ආරම්භ කරන මෙය අන්තර්ජාතින ආයතනයක් ලෙසට සැලකිය හැකිය.කැනඩාවේ අන්තර්ජාතික සංවර්ධන හා පර්යේෂණාත්මක මධ්‍යස්ථානය සහ නෝර්වේහි වර්ල්ඩිව්ව් සංවර්ධන පදනම මේ සදහා එක්වන විදේශ ආයතනයක් වේ.මෙම අන්තර්ජාතික ඉන්ටර්නෙට් සේවාවේ සභාපතිත්වය දරන්නේ පළපුරුදු රාජ්‍ය පරිපාලන නිළධාරියෙකු වන ලයනල් ප්‍රනාන්දු මහතාය.ඔහු හැරුණුකොට ඉන්ටර්නෙට් පිළිබද හා නවීන තාක්ෂණය පුළුල් දැනුමක් ඇති කැනඩාව,ඉන්දියාව, නෝර්වේ හා ලංකාව ආදී රටවල නිළධාරීහු රාශියක් මෙම ආයතනයේ ප්‍රධාන තනතුරු හොබවති.එමෙන්ම තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරියේ සිටින මොරටුව හා කොළඹ විශ්වවිද්‍යාලවල උපාධිධාරීහූ කිහිපදෙනෙක් ද මෙම ආයතනයට සම්බන්ධ වී සිටිති.එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාල‍යේ පරිගණක තාක්ෂණ ආයතනයේ සහාය ද ලැබී තිබේ.
         වෙළෙද ගනුදෙනු සදහා ඉන්ටර්නෙට් සේවාවකින් ලැබෙන සහාය විශාලය.අද ලෝකයේ රටවල් 152ක් සිය වෙළද ගනුදෙනු සදහා ඉන්ටර්නෙට් ජාලය භාවිත කරනු ලබයි.එයින් 2/3ක්ම තෙවෙනි ලොව රටවල් වේ.ලංකාවේ ද පසුගිය වසර 25 තුළ  විශාල ලෙස ආනයන අපනයන වෙළද ක්ෂේත්‍රය දියුණු විය.එබැවින් දේශීය විදේශීය වෙළද කටයුතු සදහා ඉතා පහසුම මාර්ගය ඉන්ටර්නෙට් ජාලයයි. මේ වනවිට ලංකාවේ මහා පරිමාණ කර්මාන්ත 3600 ඉක්මවා ඇත.සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 7500 ඉක්මවා තිබේ.වාණිජ බැංකු ගණන 30කට ආසන්නය.ආනයන,අපනයන සමාගම් 1600 ඉක්මවයි.මේ වෙළද ක්ෂේත්‍රයට අන්තර්ජාල මාධ්‍යයෙන් විශාල ලෙස දායක වී තිබේ.යම් භාණ්ඩයක් ආනයනය කිරීමට තෝරා ගැනීමේ සිට වන කටයුතු රාශියක් ඉන්ටර්නෙට් හරහා ඉටු කර ගත හැකිය.

         මෙසේ වෙළද කටයුතු සදහා වන මාධ්‍යයක් ලෙස ලංකාවේ ආනයන අපනයන ක්ෂේත්‍රයට දායකවීමට මෙම ආයතනය දැනටමත් සූදානම්ව සිටී.එමෙන්ම වෙළද ව්‍යාපාර කටයුතුවලින් ඔබ්බෙන් වූ අධ්‍යාපනික හා පර්යේෂණ ආදිය සදහා ද මෙම ආයතනය කැපවෙන බව ලයනල් ප්‍රනාන්දු මහතා කියා සිටී.එවැනි දෑ කෙරෙහි යොමු වන්නේ තමන්ගේ පරමාර්ථය හුදු ලාභය පමණක්ම නොවන බව ඔහුගේ අදහසයි.
         ශිෂ්‍ය ශිෂ්‍යයාවන්,විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන,පර්යේෂණායතන ආදිය ද අරමුණු කරගෙන තම මාධ්‍ය මෙහෙයවීමට මෙම ආයතනය කටයුතු කරයි.උදාහරණයක් ලෙස වෛද්‍ය සැත්කමක් කිරීමට අවශ්‍ය වූ විට එවැන්නක් මීට ප්‍රථම යම් රටක සාර්ථකව සිදු වී ඇත්නම් ඒ දෙස අවධානය යොමු කළ යුතු වන්නේ නම් ඒ සදහා ද මෙම ඉන්ටර්නෙට් සේවාව හරහා අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.‍මේ අනුව වෙළෙද ක්ෂේත්‍රය එක් ආකාරයකටත් පර්යේෂණ,සන්නිවේදන,අධ්‍යාපන ක්ෂේත්‍ර තව ආකාරයකටත් හසුරුවා එම අංශ සදහා දායකත්වය සැපයීම පෑන් ලංකා නෙට් වර්කින් ආයතනයේ අරමුණයි.‍
         මේ ආදී වශයෙන් ලංකා ඉන්ටර්නෙට් සමාගම,ටෙලිකොම් ආයතනය,ඉට්මින් ආයතනය, සීකොම් ආයතනය,ඉන්පොලැබ්,පෑන් ලංකා ආයතනය,ලංකා කොමියුනිකේෂන් ,ඉලැක්ට්‍රෝටෙක්ස් යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල ආයතන කිහිපයක් පෙන්වාදිය හැක.වර්තමානය වනවිට විවිධ නවාංග එකතු ‍වෙමින්  නවතම අන්තර්ජාල ආයතන බිහිවෙමින් පවතී.අනාගතයේත් දියුණු තාක්ෂණික අංශයන්ගෙන් යුත් බොහෝ පහසුකම් සහිත අන්තර්ජාල ආයතන බිහිවෙනු නොඅනුමානය.      

References

*ජයවර්ධන ලක්ෂ්මන්,ඉන්ටර්නෙට් ජගත් සන්නිවේදන ජාලය,ලංකා මීඩියා සර්විසස්,1996
* එස්.ටී.නන්දසාර,පී.එම්.සේනාරත්න,ඉන්ටර්නෙට්,ඇස්.ගොඩගේ හා සහෝදරයෝ,1997
*www.satproviders.com
*www.answers.com

  
     L.S.De Zoysa
     AF/09/6437
      AR/64739




                                                                                                                


  
    



No comments:

Post a Comment