Wednesday, February 4, 2015


           ගෝලීයකරණය හා මාධ්‍ය සංස්කෘතිය
   
සන්නිවේදන ක්‍රියාවලිය තුළ විශ්ව සන්නිවේදනය පිළිබද අදහස ඉස්මතු වන්නේ ගෝලීයකරණය පදනම් කරගෙනය.ගෝලීයකරණය අද සමාජයේ සමාජ,ආර්ථික,දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයේ ඉතා පුළුල් සාකච්ජාවට ලක්වන්නකි.ගෝලීයකරණය විවිධ නම් වලින් හදුන්වයි.එනම් පෘථිවිගතකරණය,ලෝකගතකරණය,ජගත්කරණය,ලෝකාවේශයයි. ගෝලීයකරණය යනු කුමක්ද? යන්න පිළිබදව චින්තකයෝ විවිධ අදහස් ඉදිරිපත්කර තිබේ.    
            කැනේඩියානු ජාතික මාධ්‍ය විශාරදයෙකු වූ මාර්ෂල් මැක්ලූහන් ගෝලීයකරණය හදුන්වා දුන්නේ “මාධ්‍ය සංස්කෘතිය තුළින් ලෝකය එකම ගම්මානයක් වන බවත් විද්‍යුත් සන්නිවේදනයේ ව්‍යාප්තියෙන් කාලය හා අවකාශය හැකිලී ගොස් සෑම ප්‍රපංචයකටම සාම්ප්‍රදායිකව හිමිව තිබූ අනන්‍යතාවක් ගොඩනැගෙන බවයි.
            කෙසේ වෙතත් ගෝලීයකරණය නිසා ලෝකය උඩියටිකුරු වෙමින් පවතී.ගෝලීයකරණය යන සංකල්පය ඇතැම් විද්වතුන් දකින්නේ ධනාත්මක සමාජ විපර්යාසයක් ලෙසය.එසේම ඇතැම් අය ගෝලීයකරණය මානව පැවැත්මේ තර්ජනයක් ලෙසද පිළිගනී. ගෝලීයකරණ සංකල්පය තුළ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ප්‍රවණතා නිසා මානව සමාජයේ පොදු ලක්ෂණ කිහිපයක් දැකිය හැකිය.එනම් අන්‍යෝනත්වය,අන්තර්ක්‍රියාකාරීත්ව හා අන්තර් සම්බන්ධතාවයි.ඒ අනුව රට රටවල් අතර අන්‍යෝනය සුහදත්වය වර්ධන විය.රටවල් අතර ආර්ථික,දේශපාලන හා සංස්කෘතීන් අතර අන්තර් සබදතා ඇති විය.
                                                 
            වත්මන් ලෝකයේ සියලු කටයුතු අන්තර්ජාතික න්‍යාය පත්‍රයකට අනුව හැඩගැසෙමින් තිබේ.ඒ අනුව සියලු රටවල ආර්ථික,දේශපාලන,නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම සංස්කෘතියද ලෝක න්‍යාය පත්‍රයකට අනුව හැඩගැසෙමින් තිබේ.ඇමරිකාව ප්‍රමුඛ බලවත් ජාතීන් විසින්මෙම න්‍යාය පත්‍රය මෙහෙය වනු ලබයි.තුන්වන ලෝකයේ රටවල ආර්ථික ,භාෂාව,සන්නිවේදන,සංස්කෘතිය ආදී වූ සමස්ත ජන ජීවිතය ඔවුනොවුන් පාලනය කරගත නොහැකි බලවේගයන්ට හසුව තිබේ.
            ගෝලීයකරණයේ බලපෑම නිසා ලෝකයේ රටවල් පුරාම ඇති වූ ප්‍රවණතාවන් ගණනාවකි. කාර්මික නිෂ්පාදන ප්‍රවණතා,ආර්ථික ප්‍රවණතා,සෞඛ්‍ය ප්‍රවණතා,දේශපාලන ප්‍රවණතා,තොරතුරු තාක්ෂණය,භාෂා ප්‍රවණතා,තරගකාරීත්වය,ජෛව ගෝලීය ප්‍රවණතා,සංස්කෘතික ප්‍රවණතා මාධ්‍ය ප්‍රවණතා,බුද්ධිගලන ප්‍රවණතා ආදී වශයෙන් සියලු අංශවල ගෝලීයකරණයේ පැතිරීම නිසා ප්‍රවණතා ඇති විය.
                                            
            මෙලස ගෝලීයකරණය නිසා අංශ ගණනාවක ප්‍රවණතාවන් සිදු වුවද ගෝලීයකරණ පිළිබද සෘණාත්මක අදහස් ද පවතී. ගෝලීයකරණයේ පදනම නිර්මාණය වන්නේ බහු ජාතික සමාගම්වල ව්‍යාප්තියත් සමගය.මේ අනුව බහුජාතික සමාගම් තම අණසක පතුරුවමින් කුඩා රාජ්‍යවල බලාධිකාරීය ඉක්මවමින් තිබේ.මෙම බහු ජාතික සමාගම් විසින් තමන්ගේ දියුණුව ස‍දහා කුඩා රාජ්‍යන් වල දේශ සීමා,සංස්කෘතිය,ආර්ථිකය පමණක් නොව සමාජ ජීවිතය ඉක්මවා යමින් ඔවුන්ගේ අණසක පතුරුවමින් සිටී.මේ නිසා බහුජාතික සමාගම් බූවල්ලෙකු මෙන් අඩු විහිදා මුලු ලෝකයම තම ග්‍රහණයට ගන්නා බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි.මේ අනුව ගෝලීයකරණය විසින් සියලු රටවල්වල පාලනය ද සංස්කෘතියද තමන්ගේ වෙළදපළට ගැළපෙන සේ හසුරුවා ගැනීමට බහුජාතික සමාගම් උනන්දු වේ.මේ සදහා ඔවුන් මාධ්‍ය සංස්කෘතියක්ද ගොඩනගා ගනු ලැබීය.මේ නිසා ලෝකයේ බලවත් රටවල් විසින් තුන්වන ලෝකයේ අභ්‍යන්තර කටයුතු සදහා අතපෙවීම ඉතා සූක්ෂම අයුරින් සිදුවිය.ඒ අනුව කුඩා ජාතීන්ට සහ තුන්වන ලෝකයේ රටවල කනබොන,අදින පළදින අයුරු පවා එම රටවලට තීරණය කිරීමට සිදු වූයේ මෙම මාධ්‍යන් විසින් අනුබල දෙන ආකාරය අනුවය.
                                                                     
            එමෙන්ම  ගෝලීයකරණය නිසා මාධ්‍ය ක්‍රියාවලියේ අන්තර්ගතය,හිමිකාරීත්වය සහ අරමුණු යනාදී කාරණාවල වෙනස්කම් සිදුවිය.නූතනයේ ජනමාධ්‍ය ක්‍රීයාකාරීත්වය වෙළද දැන්වීම්වල අනුග්‍රහකත්වය මත තීරණය වේ. එමෙන්ම ජනතාවට සේවය කිරීමේ අරමුණ වෙනුවට ජනමාධ්‍ය වානිජ අරමුණු සදහා භාවිතා වන තත්වයක් ඇති විය.ගෝලීයකරණය හේතු කොටගෙන මාධ්‍ය හිමිකාරීත්වය වෙනස් විය.ඒ අනුව ජනමාධ්‍ය හිමිකාරීත්වය බහුජාතික සමාගම්වල හිමිකාරීත්වයට නතුවිය.එමෙන්ම මාධ්‍ය අන්තර්ගතයද දේශීය මාධ්‍යවල පවා යම් තරමකට හෝ ජාත්‍යන්තර මාදිලියකට අනුව හැඩගැසුනි.ඒ අනුව  Supper Stars  ඇතුළු තරු සංකල්පය,ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැනි වැඩසටහන් ලොවපුරා මාධ්‍ය න්‍යාය පත්‍රයන්ට එකතු විය.මේ නිසා බොහෝ දෙනෙක්  ජනමාධ්‍ය පරිහරණයට පෙළඹුණි. සමාජයක මාධ්‍ය පරිහරණය බහුල වීමත් සමගම මාධ්‍ය පරිහරණය හා බැදුණු ජීවන රටාව මාධ්‍ය සංස්කෘතිය ලෙස සරලව අර්ථ නිරූපණය කළ හැකිය.
මුළු ලෝකයම ගෝලීයකරණයට හසු වීමත් සමග වර්තමාන ලෝකයටම පොදු මාධ්‍ය සංස්කෘතියකට හසුවිය.ජාත්‍යන්තර රූපවාහිනී වැඩසටහන් තුළින් රටරටවල ජාතික රූපවාහිනී ජාලයන්ද ආක්‍රමණය කර තිබේ.මේ නිසා ස්වදේශීය අනන්‍යතාවන් හා වටිනාකම් සහිත සංස්කෘතික නිෂ්පාදන මාධ්‍ය තුළින් ඉවතට තල්ලූ කිරීම සිදුවිය.
            මාධ්‍ය සංස්කෘතිය තුළ නව භෞතික සම්පත් රාශියක් සමාජයට එකතු විය.එමෙන්ම නව චර්යාධර්මයන්ද ජීවන රටාවේ වෙනස්කම් රැසක්ද සිදු විය.පොත්පත් ,පුවත්පත්,රූපවාහිනී,ගුවන් විදුලි මෙන්ම සිනමාව විඩියෝපට,සංයුක්ත තැටි,ආදිය ද සමාජයට එකතු විය.මේ අනුව මාධ්‍ය ඇසුරේ හුරු පුරුදු වී ඇති ජීවන රටාව සහ එම රටාව පෝෂණය කරන මාධ්‍ය ක්‍රියාකාරීත්වය විසින් සමාජයේ සංස්කෘතිය මෙහෙය වීමට මැදිහත් වන ආගම,සිරිත් විරිත්,සදාචාරය හා අධ්‍යාපන ක්‍රියාවලිය අභිබවා තිබේ.එමෙන්ම නවීකරණය වෙමින් ඉදිරියට යාමත් සමග පාරම්පරිකව තොරතුරු හා විනෝදය ලබා ගැනීමේ ක්‍රමයන් වෙනුවට මාධ්‍ය භාවිතා කරනු ලැබීය.උදා:-
  • අතීතයේ විඩාව කාන්සිය මගහරවා ගැනීමට ගීත ගායනය වෙනුවට අද ජනමාධ්‍ය තුළින් නවීන ගීත ඇසීම.
  • අතීතයේ අණබෙර කරුවන්ගෙන් දැනගත් තොරතුරු අද ජනමාධ්‍ය තුළින් දැන ගැනීම.
මේ අනුව මාධ්‍ය සංස්කෘතිය සදහා තාක්ෂණය බෙහෙවින් ඉවහල් විය.තාක්ෂණය නොවන්නට අද වන විට ජනමාධ්‍යන් ද නැත.මුලින්ම පිටපත්කරණය සදහා මුද්‍රණය යන්ත්‍රය සොයාගැනීම ජනමාධ්‍ය යේ මූලාරම්භයයි.ඉන්පසු පුවත්පත්,ගුවන්විදුලිය,සිනමාව හා රූපවාහිනිය බිහිවිය.අදවන විට තාක්ෂණ දියුණුවේ අග්‍රඵලය ලෙස නව මාධ්‍ය බිහිවී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස ජංගම දුරකථනය, අන්තර්ජාලය, පරිගණකය ආදිය බිහිවිය.මේ නිසා ගෝලීයකරණය තුළ පුළුල් වී වැඩෙන සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට නව මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.නව මාධ්‍ය බිහිවීමත් සමග විකල්ප වෙබ් අඩවි,බ්ලොග් අඩවි,ෆේස්බුක්,විද්‍යුත් තැපෑල යනාදී නව මාධ්‍ය අවකාශයන් යොදා ගනිමින් නව සන්නිවේදන සම්ප්‍රදායන් බිහිවිය.නව මාධ්‍ය තුළින් තොරතුරු සම්ප්‍රේෂණය පමණක් නොව ග්‍රාහක ප්‍රජාව විවිධ ජීවන ශෛලීන් කෙරෙහි පෙළඹවීමද සිදුකරනු ලබයි.
                                 
සියලු අංගෝපාංගයන්ගෙන් යුතු ජංගම දුරකථනද මාධ්‍ය සංස්කෘතියේ සුවිශේෂී අංගයකි.මේ නිසා විශාල පෙරළියකට ලක්ව තිබේ.අද පවතින ජංගම දුරකතනය පරිගණක, ගුවන්විදුලි, රූපවාහිනී, නිශ්චල කැමරා, වීඩියෝ කැමරා ආදී තාක්ෂණික අංගවල එකතුවකි. මේ අනුව ජංගම දුරකතනය ජනජීවිතයේ අත්‍යාවශය උපකරණයක් බවට පත්ව තිබේ.ජංගම දුරකතනය බිහිවීමට පෙරදී දුර බැහැර සිටින ඥාතියෙකුගේ සුවදුක් දැනගැනීමට සති දෙකතුනක් ගත වුවද ජංගම දුරකතනය බිහිවීමත් සමග තොරතුරු දැන ගැනීමට ගතවන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකි.
මේ අනුව මාධ්‍ය සංස්කෘතියේ නව අංග නිසා ගෝලීයකරණය අදවන විට සීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වේ.මෙකී මාධ්‍ය සංස්කෘතික ප්‍රවණතා සියල්ලම පාහේ තාක්ෂණයේ වර්ධනයත් සමග දියුණු වූ ඒවාය.මාධ්‍ය භාවිතය තුළ දිනෙන් දින තාක්ෂණික වර්ධනය වේගවත් වන තරමටම මිනිසා ඒ නූතන තාක්ෂණයන් හඹා යාමද දිනෙන් දින තාක්ෂණික වර්ධනය වේගවත් වන  තරමටම මිනිසා ඒ නූතන තාක්ෂණයන් හඹා යාමද දිනෙන් දින වර්ධනය වන කැපීපෙනෙ ලක්ෂණයකි.
                    
මාධ්‍ය සංස්කෘතිය තුළින් සමාජය තුළින් සමාජය තුළ ඇති කරනු ලබන බලපෑම ද සුළුපටු නොවේ.සමාජයක් තුළට නව මාධ්‍ය ප්‍රවණතාවක් ඇතුල් වන විට පැවති සංස්කෘතියේ වෙනස්කම් ඇතිවේ.එහිදී ඇතැම් විට පැවති සංස්කෘතික අංග සමාජයෙන් නැති වී යයි.ඇතැම් විට සමාජයේ තිබූ සංස්කෘතික අංග මාධ්‍ය සංස්කෘතිය විසින් උදුරාගනු ලබයි.ඇතැම් අංග නව මානයන් ඔස්සේ වර්ධනය වීමට ද පටන්ගනී. ඒ අනුව මේ සියලු වෙනස්වීම් සමග ඒ හා බැදුණු සමාජ හැසිරීම් ද  වෙනස් වීමට පටන් ගනී.
පෙරදී කුඩා දරුවන් තම විවේක කාලය ගත කළේ තමන්ගේ ආච්චිලා සීයලා සමගය.ඔවුන්ගෙන් කතාන්දර කවි  ඉගෙන ගත්හ.ඔවුන් මගින් දරුවන්ට සිරිත් විරිත් සාරධර්ම පවා හුරුවිය.එහෙත් සමාජය සංකීර්ණ වීමත් සමග ඉහත කාර්ය්‍යන් සිදු කරනු ලබන්නේ ජනමාධ්‍ය විසිනි. මේ අනුව පෙරදී ළමයින්ගේ සමාජානුයෝජන ක්‍රියාවලියට පවුල,ආගමික ආයතන වුවද අදවන  විට එකී කාර්ය්‍යන්  සිදු කරනු ලබන්නේ ජනමාධ්‍ය ආයතන විසිනි.මේ අනුව සමාජානුයෝජන ක්‍රියාවලියට මාධ්‍ය  සංස්කෘතියේ සම්මාදම අන් සියලු සාධකවලට වඩා ප්‍රබල වී තිබේ.
            මාධ්‍ය සංස්කෘතිය මුහුකුරා ගිය සමාජයක ජනමාධ්‍ය විසින් රටේ දේශපාලන පසුබිම ද තීරණය කරනු ලබයි.රටේ පාලකයන් පත්කිරීම මෙන්ම ඔවුන් බලයෙන් පහ කිරීමට ද මාධ්‍ය සතු හැකියාව සුවිශේෂී වේ. එපමණක් නොව බොහෝ සංස්කෘතික ක්‍රියාකාරකම් වල පැවැත්ම තීන්දු කිරීමේ බලය මාධ්‍ය සතුය.මෙම මාධ්‍ය සංස්කෘතිය නිසා සමාජයේ සිදු වූ තවත් එක් සමාජීය වෙනස්කමක් වන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතා හීන වී පුද්ගලයා හා මාධ්‍ය අතර සම්බන්ධතා පුළුල් වීමයි.
            මාධ්‍ය සංස්කෘතියේ දක්නට ලැබෙන මෑත කාලීන ප්‍රවණතාවයක් වන්නේ වාණිජවාදී දැන්වීම් කරණයේ ව්‍යාප්තියයි.විශේෂයෙන් බහුජාතික සමාගම් මෙම දැන්වීම්කරණ ව්‍යාපාරයේ නියැලී සිටී.මේ අනුව මාධ්‍ය සංස්කකෘතිය තුළදී ජනමාධ්‍ය වැඩි වැඩියෙන් දැන්වීම්කරණ ආයතන මත රදාපැවතීම වැඩි විය.
                                          
            මෙම කරුණු අනුව මාධ්‍ය සංස්කෘතියේ බලපෑම විවිධාකාර මුහුණු වලින් සමාජය තුළ ක්‍රියාත්මක වේ.මිනිසාට හුරුපුරුදු සංස්කෘතියේ සිට වෙනත් ආගන්තුක සංස්කෘතික පරිසරයකට ගිය විට පුද්ගලයා මුහුණ දෙන සංස්කෘතික වෙනස නිසා ඔහු තුළ ඇතිවෙන හැගීම ,ආතතිය, තැතිගැන්ම, හෝ ආගන්තුක බව සංස්කෘතික කම්පනය වේ. මාධ්‍ය විසින් සමාජයට නුහුරු ආගන්තුක තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය කරන විට සමාජය තුළ ඇතිවෙන වෙනස්කම් සංස්කෘතික කම්පනය වේ.
            මාධ්‍ය සංස්කෘතික බලපෑම සංස්කෘතික ආක්‍රමණයක් ලෙස ද සමාජයට බලපානු ලබයි.මෙහිදී සිදුවන්නේ සමාජය තුළ මිනිසුන්ගේ ස්වීය සංස්කෘතිය අහෝසිකර  දමා ඒ මත බාහිර සංස්කෘතියක් බලෙන් පැටවීමයි.අතීතයේ ශ්‍රී ලාංකික ජන ජීවිතය අල්පේච්ඡතාවයට හා සරල බවට මුල් තැන දුන්නද වර්තමානයේ බටහිර ප්‍රචලිත පාරිභෝජනවාදයට තදින් නැඹුරු වී තිබේ.ආහාර පාන,ඇදුම් පැළදුම් පමණක් නොව එදිනෙදා ජීවිතයේ අවශ්‍ය භෞතික සම්පත්ද වෙනස් වී තිබේ.
මාධ්‍ය සංස්කෘතිය තුළින් සමාජය තුළ සංස්කෘතික හුවමාරුවක්ද සිදු කරනු ලබයි.සංස්කෘතික හුවමාරුව ජනමාධ්‍ය භාවිතය හරහා පුළුල් වන විෂය ක්ෂේත්‍රයකි.මුද්‍රිත මාධ්‍යයෙන් ඇරඹී මෙම ප්‍රවණතාව රූපවාහිනී මාධ්‍යයේ ප්‍රවණතාවත් සමග ඉහළ මට්ටමක් දක්වා වර්ධනය විය.ජනමාධ්‍ය මගින් සංස්කෘතික හුවමාරුවට කරනු ලබන පෙළඹවීම නිසා ඇතැම් සංස්කෘතිකාංග පොදු භාවිතයන්ටද පැමිණ තිබේ.මේ ආකාරයට සංස්කෘතිකාංග අතර සිදුවන හුවමාරුව සමාජ අතර සිදුවන සහජීවනයට මෙන්ම සංවර්ධනයට ද හේතු වේ.
                                  
කෙසේ වෙතත් ගෝලීයකරණයත් සමග මාධ්‍ය සංස්කෘතියේ මුහුණුවර වෙනස් වී තිබේ. මේ නිසා ඇමරිකානු මාධ්‍ය, බ්‍රිතාන්‍ය මාධ්‍ය වශයෙන් වෙන් වෙන්ව හැදින්වීමට නොහැකි පරිදි මාධ්‍යයේ මූලධර්මික පදනම වෙනස් වී තිබේ. එමෙන්ම මාධ්‍ය හිමිකාරීත්වයේ ද වෙනස්කම් සිදුවිය. මාධ්‍ය සංස්කෘතියේ බිහිවීමත් සමග රට රටවලට අනන්න්‍ය වු  සංස්කාතීන් වල වෙනස්කම් ඇති විය. මේ නිසා සංස්කෘතීන් වල ඒකාබද්ධවීම සිදු විය.කෙසේ වෙතත් එක්සත් ජනපදය හා වෙනත් බටහිර රටවල්වල සංස්කෘතිය හා අගයන් ගෝලීය මාධ්‍ය විනෝදාත්මක කර්මාන්තය පුළුල් ලෙස නතු කරගෙන තිබේ.මේ හේතුවෙන් බටහිර ජීවන රටා හා ආදර්ශය ගෝලීය මාධ්‍ය තුළින් දිගටම නිරාකරණය වීමෙන් සංස්කෘතිය හා සමාජ බෙදීම් ඇති වීමට වැඩි ප්‍රවණතාවක් පවති.
ගෝලීයකරණයේ අතුරු ප්‍රතිඵලයන් ද පවතී. නීති විරෝධී  දේශසීමා හරහා වූ ජාවාරම් මට්ටම තියුණු ලෙස වැඩි වීම,නීති විරෝධී ලෙස මුදල් රැස් කිරීම,මිනිස් වෙළදාම්,ලිංගික ජාවාරම්,මත් ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදයේ විප්ලවය නිසා දේශසීමා හරහා නීතිවිරෝධී කටයුතු සම්බන්ධීකරණය කර තිබේ.ගෝලීයකරණය හේතුවෙන් තොරතුරු තාක්ෂණය හා බැදුණු ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු විය.එනම් පරිගණ පද්ධති තුළට වෛරස් ඒම,අන්තර් ජාලය හරහා සිදු වන මහා පරිමාණ මුල්‍ය වංචා,ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම ආදී වූ ගැටලු රැසකට මුහුණපෑමට සිදු විය.මෙවැනි ගැටලු රැසකට ගෝලීයකරණය නිසා මුහුණ දීමට සිදු විය.   
 කෙසේ වෙතත් ගෝලීයකරණයේ ඇති අහිතකර දේවල් බැහැර කිරීමත් නිවැරදි දේවල් ප්‍රයෝජනයට ගැනීමටත් අවශ්‍ය මං හෙලි කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුය.
                                      Hands holding globe.jpg
                                  ආශ්‍රිත ග්‍රන්ථ
1 ආරියසේන සම්පත් (2004) ගෝලීයකරණය, සොබාදහම හා මානව සංහතියේ ඉරණම, සරසවි ප්‍රකාශකයෝ.
2 කුමාර අශෝක දර්ශන  (2013) ජනප්‍රිය සංස්කෘතිය හා මාධ්‍යය, ෆාස්ට් ප්‍රින්ටරි (ප්‍රයිවට්) ලිමිටඩ්.            
3 වීරසිංහ ටියුඩර් (2002) ගෝලීය සමාජය හා එහි මතවාද, එස් ගොඩගේ සහ සහෝදරයෝ.

ඒ.එම්.ඩී.ඩී අත්තනායක
AR/ 64691
AF/09/6388
 
 
 

13 comments:

  1. වැදගත් මාතෘකාවක්. ජය!

    ReplyDelete
  2. සංස්කෘතික කම්පනය ගැන අදහසක් කියන්න පුලුවන්ද?

    ReplyDelete
  3. වටිනා ලිපියක්


    ReplyDelete
  4. This is a most useful topic of our study

    ReplyDelete
  5. This is a most useful topic of our study

    ReplyDelete
  6. ගොඩක් වටිනවා.

    ReplyDelete
  7. බොහොම වටිනා ලියවිල්ලක්... මගෙත් පොතක් උපුටා දක්වා තිබෙනවා. ඉංග්‍රීසි බසින් කියවන්න. ඉදිරියටත් ලියන්න. - දර්ශන අශෝක කුමාර

    ReplyDelete
  8. ගොඩක් ලොකු දැනුමක් ලැබුනා👍🙏🏻

    ReplyDelete
  9. බොහොම ස්තුති

    ReplyDelete