Monday, January 5, 2015

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හැදින්වීම



ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය 

ෆේස්බුක් සමාජ වෙබ් අඩවි නිර්මාණය වන්නේ සන්නිවේදන තාක්ෂණයේ ඉහළ මට්ටමේ ජයග්‍රහණයක් ලෙසිනි. ගින්න, හූව වැනි මිනිස් වර්ගයා ප්‍රාථමික අවධියේ දි සිදුකළ සන්නිවේදන ක්‍රම දෙස බලනවිට සමාජ වෙබ් අඩවි දක්වා පැමිණි ගමන් මගෙහි දක්නට ලැබෙන්නේ අතිශයින් දියුණු ප්‍රගමනයකි. එම වෙබ් අඩවි අතරින් ෆේස්බුක් වෙබ් අඩවිය ප්‍රධාන වේ. සමාජ ජාලකරණ සේවාව (Social Networking Service)  වන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය යි.( සෙරන්ඩිබ් සගරාව,2010,පි.19)

ෆේස්බුක් වෙබ් අඩවිය සමාජ ජාල (Social Networking) වෙබ් අඩවියකි..ෆේස්බුක්(face book) සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ වන්නේ මාර්ක් ෂුකර්බර්ග් (Mark Zukerberg) ය. 2004 වසරේදී හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී ඔහු සමඟ ඉගෙනුම ලැබූ Eduardo Saverin, Dustin Moskovitz සහ Chris Hughes යන මිතුරන් තිදෙනා හා එක්ව ෆේස්බුක් වෙබ් අඩවිය තැනුවේ හුදෙක් විනෝදය සදහායි. මේ සියලු දෙනාගේ  සහායෙන්  2004 වසරේ පෙබරවාරි 04 වෙනි දින, මෙම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය පිහිටුවන ලදි. මොවුන් විසින් ගොඩනගන ලද Social Network එක අද වන විට ලොව පුරා සිටින ජනතාවගේ ජීවිතයෙහි කොටසක් බවට පත්ව තිබෙනවා.  “2012 වසර අවසාන වනවිට ලෝකය පුරාම ෆේස්බුක් භාවිත කරන්නන්ගේ ප්‍රමාණය බිලියනය ද ඉක්මවා අවසානයි”

ලොව ප්‍රමුකතම සමාජජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය මේ වන විටත් අන් කිසිදු වෙබ් අඩවිකයට සම කල නොහැකි ආකාරයට දියුණු වෙමින් පවතී. මිලියන 900කටත් වඩා වැඩි සාමාජික පිරිසක් සිටින ෆේස්බුක් වෙබ් අඩවිය හරහා මුළු ලෝකයම එකට කරන මිතුරු පාරාදීසයක් බවට පත්ව තිබෙනවා. 2009 ජනවාරි වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජ ජාල වෙබ් අඩවියයි. 

දිනෙන් දිනම ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට එකතු වන සාමාජික සංඛ්‍යාව ඉහල යන නිසාවෙන් එහි සමාගම් මධ්‍යස්ථානයේ දත්ත ගබඩාවන්හි ඉඩ මදී වි තිබෙනවා. ෆේස්බුක් වෙත දිනකට ඡායාරූප මිලියන 100කටත් අදික සංඛ්‍යාවක් එකතු වන බව ගණන් බලා ඇත. ෆේස්බුක් නිර්මාතෘ මාක් ෂූකර්බර්ග් නව දත්ත ගබඩාකිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය. මෙහිදී ඔවුන් විසින් ලොව අනෙකුත් සමාගම් නොකල විශේෂිත ක්‍රියාවක් සිදු කලේය. ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථානයේ සැලසුම් ලෝකයා වෙත ප්‍රසිද්ධ කිරීම නිසා, ලෝකයා මවිතයට පත්වූවා. ගූගල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් තම දත්ත ගබඩාවන්හි සැළසුම් රහසිකතව තබා ගත්තත් ෆේස්බුක් විසින් ඔවුන්ගේ සුවිසල් දත්ත මධ්‍යස්ථානයේ තොරතුරු හෙළි කරමින් ලෝකයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණි.

ෆේස්බුක් පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. මෙහි ලියා පදිංචි විය හැක්කේ අඩුම වශයෙන් අවුරුදු 13ක් වයසැති පරිශිලකයන්ට පමණි.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.

ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් වීම (Sign up) සදහා ෆේස්බුක් ගිණුමක් (Face book account) ආරම්භ කළ යුතුය. ෆේස්බුක් හී පළමු පිටුවෙ(Home page) දකුණු පස Login යනුවෙන් දැනට සිටින සාමාජිකයින් සදහා ඇතුඵ වීමට (log) වන ස්ථානය ද නව සාමාජිකයෙකුට ගිණුමක් ආරම්භ කිරීම සදහා එහිම පහතින් ලියාපදිංචි වීම සදහා දත්ත විස්තරයක් තිබේ.

ගිණුම ආරම්භ කිරී‍මේදී තමන් පිළිබදව එම වෙබ් අඩවිය සදහන් කර ඇති දත්ත විස්තරය     (Profile) සම්පූර්ණ කළ යුතුය. එහිදී අදාළ පුද්ගලයාට වලංගු විද්‍යුත් ලිපිනයක් (E-mail address) තිබීම අත්‍යවශ්‍ය වේ. එහිදි පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රහස්‍ය අංකයක් (password) හිමිවන අතර එතැන් සිට එම විද්‍යුත් ලිපිනය සහ රහස්‍ය අංකය භාවිතයෙන් ගිණුම හරහා ලෝකයේ සෑම කොදෙව්වකම සිටින පුද්ගලයින් සමග සබදතා ගොඩනගා ගැනීමේ හැකියාව පවතියි. ෆේස්බුක් සදහා හොදම පැහැය නිල් පැහැය යනුවෙන් ෂුකර්බර්ග් තීරණය කළ අතර එම නිසා එහි මූලික පැහැය නිල් විය.

ෆේස්බුක් භාවිත කරන්නන්ට තමගේ ආකෘතියක් (Profile) සාදා අනෙකුත් ෆේස්බුක් සාමාජිකයින් මිතුරන් වශෙයන් එක්කරගත හැකිය. එහිදි සබදතා‍ ගොඩනගා ගැනීමට කැමති තැනැත්තාට ක්ෂණිකව පණිවිඩයක් යැවීමෙන් ආරාධනා (Request) කළ හැකි අතර එම ආරාධනය පිළිගැනීමෙන් (confirm) පසුව ඔහු  ඇය සමග තොරතුරු හුවමාරු කරගැනමේ අවස්ථාව ලැබේ. තමන්ට ම සබදතාවය අනවශ්‍ය යැයි හැගෙන සෑම අවස්ථාවක ම සබදතාවය ඉවත්කරලීමේ හැකියාව (Block this person/ Unfriend) ලැබෙයි. තම මිතුරන් සමග පණිවිඩ ද හුවමාරුකර ගත හැකිය. ෆේස්බුක් හී යමක් වෙනස් කළ විට ය ස්ව්‍යංක්රීයවම අනෙක් මිතුරන් පෙන්නුම් කරනු ලැබේ. තම  ආකෘතියට තමා පිළිබද විස්තර, තමා කැමැත්තක් දක්වන දේ ගැන, සම්බන්ධ විය හැකි‍ තොරතුරු හා පුද්ගලික තොරතුරු යනාදිය යෙදිය හැකිය. තම පුද්ගලිකත්වය රැකෙන ලෙස කැමති ආකාරයට තබාගැනීමේ අයිතිය එහි හිමිකරු සතු වෙයි. මිතුරන් සමග chat කිරීම ෆේස්බුක් හී වඩාත් ජනප්‍රිය අංගයක් බවට පත්වී ඇත. එමෙන්ම පින්තූර (photo) , වීඩියෝ (video) ඇතුළත් (upload) කළ හැකිය. එසේම තමා ප්‍රිය කරන කණ්ඩායම් සමග එකතුවිය හැකිය. තමාගේ කැමති අකැමැති භාවයන් ප්‍රකාශකල හැකි අතර තම පුදගලිකත්වය තමා කැමති ආකාරෙයන් තබාගත හැකිය. තමන්ගේ Profile එකේ අඩංගු සෑම දෙයක්ම තීරණය කිරීම තම කැමැත්තට අනුව සිදුකළ හැකිය.

“ අද සෑම මොහොතකම මේ වෙබ් අඩවිය වෙත ලක්ෂ ගණන් දෙනා රොද බැද එක්වෙති. එහිදි මිතුරන්ට ඡායාරූප යවති, වීඩියෝ දර්ශන ඇතුළත් කරති. අලුතින් මිතුරන් හදුනා ගනිති, නොයෙක් විෂයන්ට කැමති අයගේ කණ්ඩායම් තනා ගනිති, ක්ෂණිකව පණිවුඩ යවති, විවිධ ජාලගත පරිගණක ක‍්‍රීඩා වල යෙදෙන්නට ද මේ තුළින් අවස්ථාව ලැබෙනු ඇත. ෆේස්බුක් හරහා  විවිධ ක‍්‍රීඩා වල නිරතවීම එහි සාමාජිකයන් අතර ජනප්‍රිය වී ඇති නිසා නව මාදිලියේ විවිධ ක‍්‍රීඩා ද ෆේස්බුක් හරහා හදුන්වා දෙමින් සිටියි. 2012 වසරේ ජූනි 07 වන දින App center නම් විශේෂාංගය හදුන්වා දෙන ලදි. එමගින්  ෆේස්බුක් භාවිතකරුවන්ට ක‍්‍රීඩා සහ අනෙකුත් විශේෂාංග ඉතාමත් පහසුවෙන් සොයාගත හැකිවීමේ අවස්ථාව උදාවිය. මේ අයුරින් අන්තර්ජාලය සමග නිතර සම්බන්ධ වී වැඩ කරන්නන්ගේ මිනිස් සබදතා අලුත් කරමින් ජීවමානව පවත්වාගෙන යන්නට  ෆේස්බුක් නැතිවම බැරි තැනට පත් වී තිබේ. (http://www.facebook.com

ෆේස්බුක් වෙබ් අඩවිය තුළ වඩාත් ජන ප්‍රිය අංගයකි පින්තූර ඇතුළත් කිරීම. අනෙකුත් පින්තූර ඇතුළත් කිරීමේ සේවා ( Image hosting service) එනම් photo bucket, flicker  වැනි සේවා සමග සසදා බලන විට තමන් කැමති ප්‍රමාණයකින් පින්තූර ඇතුළත් කළ හැකි එකම වෙබ් අඩවිය ලෙස ෆේස්බුක් වෙබ් අඩවිය හදුනාගත හැකිය. පළමු වසර තුළදි එක් ඇල්බමයකට ඇතුළත් කළහැකි පින්තූර ප්‍රමාණය 60 ක් විය. 2009 වසරේ මැයි මාසය වන විට එය 200 දක්වා ඉහළ නැගිනි. එක් ඇල්බමය පුද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයට සැකසීමේ පහසුකම මෙය තුළ අන්තර්ගත වේ.

 මෙම පහසුකම සියල්ලෙන්ම සපිරි නිසා නූතන සමාජය තුළ ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය වඩාත් ජනප්‍රිය වී ඇත.

 ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය 2010 වර්ෂය වනවිට කොටස් වෙළදපොළ තුළ ඩොලර් බිලියන 41 ක මූල්‍යමය වටිනාකමක් අත්කරගෙන ඇත. එමෙන්ම ගූගල් සහ ඇමසන් යන වෙබ් අඩවි හැරුණු විට ඇමෙරිකාව ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස ෆේස්බුක් භාවිත කර ඇත. ෆේස්බුක් ආයතනය වෙළද දැන්වීම් වලින් පමණක් 2006 වර්ෂය තුළ දී උපයා ඇති ආදායම ඩොලර් කෝටි පහකි.

අද මුළු ලෝකයම ෆේස්බුක්කරණය වෙමින් තිබෙයි. ඉංග්‍රී සි භාෂාව භාවිත කරන රටවල් තුළ මෙන්ම ඊට සාපේක්ෂව අනෙක් රටවල් තුළ ද ෆේස්බුක් ඉතා වේගයෙන් පැතිර යමින් තිබෙයි. ෆේස්බුක් සාමාජිකයින්ගෙන්  70% ක්ම සිටින්නේ වෙනත් රටවලය. එමෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය භාෂා 75 කින් ඉදිරිපත්කර ඇත. ෆේස්බුක් හා රොද බැද සිටින පිරිස 2012 ඔක්තොම්බර් මාසය වනවිට බිලියනය ද ඉක්මවා ගොස් අවසන් බවට ගණන් බලා ඇත.

ලෝකය පුරාම සිටින ජනතාවගෙන් මිලියන 400 කට වැඩි පිරිසක් දිනපතා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සමග සම්බන්ධ වන බව පෙනේ. CNN වෙබ් අඩවිය පවසන පරිදි වර්තමානයේ ලොව සිටින පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු ෆේස්බුක් භාවිත කරන බව පෙනේ.  එලෙසම ලෝකය පුරාම ජීවත්වන ජනතාවගෙන් පුද්ගලයන් දහතුන් දෙනෙකුගෙන් එක් අයෙක් සතුව ෆේස්බුක් ගිණුමක් පවතියි.(http://www.en.wikipediaorg/wiki/facebook)  එමෙන්ම ෆේස්බුක් භාවිත කරන්නන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු දිනපතා ෆේස්බුක් අඩවිය වෙත පිවිසෙන බවත්, දිනපතා ඡායාරූප මිලියන 350 ක් පමණ ෆේස්බුක් අඩවියට ඇතුළු කරන බවත් ලොවට පැහැදිලි කරමිනි.

ලෝකය පුරාම සෑම මිනිත්තු දහයකට ම වරක් ම මිලියනයකට  වැඩි Link  ප්‍රමාණයක් බෙදාගනු (share) ලබන අතර මිලියන දෙකක මිතුරු ඇරයුම් (Request)  අනුමත කරනු ලැබේ. මේ අනුව පුද්ගලයින් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අරමුණින් ලෝකය පුරාම ජීවත්වන ජනතාවට ෆේස්බුක් සම්බන්ධයෙන් පවතින උනන්දුව පැහැදිලිය.

            ශ‍්‍රී ලාංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ද තම සන්නිවේදන අවශ්‍යතාවයන් ෆේස්බුක් තුළින් ඉටුකරගනු ලැබේ. අන්‍යෝන්‍ය සබදතා ගොඩනගා ගැනීම සහ පවත්වාගෙන යාම සදහා ඔවුන් බහුල වශයෙන් භාවිත කරනු ලබන මිතුරු හවුලක් බවට ෆේස්බුක් පත් වී ඇත. ඒ අනුව ශ‍්‍රී ලාංකාව මුළු ලෝකයෙන්ම ෆේස්බුක් භාවිත කරනු ලබන රටවල් අතරින් 74 වන ස්ථානයෙහි පසුවෙයි. 

            ශ‍්‍රී ලාංකීය ජනගහනයෙන් දොළොස් ලක්ෂ දහහතර  දහස් හාරසීය විස්සක් (1214,420) පමණ පිරිසක් ෆේස්බුක් හා සම්බන්ධ වී සිටින බව දැනට සිදුකර ඇති සමීක්ෂණයන්ගෙන් සොයාගෙන ඇත. වර්ෂ 2011 අවසාන වන විට ජනගහනයෙන් වයස අවුරුදු 18-24 ත් අතර 42% ක් වයස අවුරුදු 25-34 ත් අතර 32% ක් වයස අවුරුදු 35-44 ත් අතර 8%ක් වයස අවුරුදු 13-15 ත් අතර 4%ක් වයස අවුරුදු 45-54 ත් අතර 3%ක් වයස අවුරුදු 55-64 ත් අතර 1% ක් සහ වයස අවුරුදු 65 ට වැඩි පිරිසෙන් 1% ක් වශයෙන් ෆේස්බුක් හා සම්බන්ධ වී ඇත. එමෙන්ම මෙයින් වැඩි ප්‍රතිශතයක් වන්නේ පුරුෂ පක්ෂය යි. එය  ලෙස 67% කි. ස්ති% පක්ෂයෙන් 33% ක් ෆේස්බුක් භාවිත කරනු ලබයි.

            ලෝකයේම ෆේස්බුක් භාවිත කරන පිරිසෙන් 55% ක් ගැහැණු පක්ෂය වන අතර 45% ක් පුරුෂ පක්ෂය වේ.ලෝකය පුරා ෆේස්බුක් භාවිත කරන්නන්ගේ වයස් ප්‍රමාණයන් පිළිබදව සලකා බැලිමේදී වැඩිම ෆේස්බුක් සාමාජිකයින් පිරිසක් වයස අවුරුදු 18-34 ත් අතර ප්‍රමාණයේ පසුවන බවට සොයාගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස 26% කි. වයස අවුරුදු  13-17 ත් අතර පිරිසෙන් 20% ක් ද වයස අවුරුදු 35-44 ත් අතර 15%ක් ද වයස අවුරුදු  45-54 ත් අතර 8% ක් ද වශයෙන් ෆේස්බුක් වෙබ් අඩවියේ සාමාජිකයින් වී සිටියි.

            මේ වන විට ෆේස්බුක් වෙබ් අඩවිය මුළු ලෝකයාගේම අවධානය දිනාගෙන අවසානයි. නව තාක්ෂණික    සමග නව අදහස් එකට ගළපමින් අන්තර්ජාලය තුළ තම ආධිපත්‍ය තහවුරු කරගැනීමට ෆේස්බුක් වෙබ් අඩවිය සමත් වී ඇත.

            ෆේස්බුක් (facebook) ලොව අන්තර්ජාල තදබදය ඇතිකිරීම අතින් තුන්වන ස්ථානයේ පසුවෙයි. 2007 වර්ෂයේදී සිදුකරන ලද කොම්ස්කෝර් සමීක්ෂණයන්ට අනුව ෆේස්බුක් වෙබ් අඩවිය ප්‍රධාන සමාජීය ජාල සේවය ලෙස පිළිගෙන ඇත. එය තරගකාරි මයි ස්පේස් (my space) ද අභිබවා සිටියි. කොම්ස්කෝර් වාර්තා (comscore report)අනුව 2010 වර්ෂයේ මැයි වන විට ෆේස්බුක් සමාජිකයින් ප්‍රමාණය මිලියන 130 ක් වන අතර එය මිලියන 8.6 ක වැඩි වීමකි.

            ෆේස්බුක් වෙබ් අඩවිය මුළු ලෝකයාගේම ප්‍රශංසාවට පත් වී ඇත. ෆේස්බුක් වෙබ් අඩවිය මගින් හිමිකරගෙන ඇති සම්මාන එයට සාක්ෂි සපය යි.“ 2007 වර්ෂයේදී  PC සගරාව නම්කරන ලද ප්‍රධාන වෙබ් අඩවි 100 අතරට ෆේස්බුක් වෙබ් අඩවිය ඇතුළත් විය. 2008 වර්ෂයේ දී වෙබ් ත්‍යාගය මගින් The people’s voice Award සම්මානය දිනාගෙන ඇත. 2006 වර්ෂයේ දී ඇමෙරිකානු ශිෂ්‍යයක් කරන ලද අධ්‍යයනයකට අනුව උපාධි අපේක්ෂකයින්ගේ දෙවන ජනප්‍රියතම අංගය ෆේස්බුක් තුළ රැදි සිටීම බව හදුනාගෙන ඇත. 2010 වර්ෂයේදී Crunch; best overall startup or product  සම්මානය දිනාගෙන ඇත.

ෆේස්බුක් (facebook) හි වාසි,
1.      විනෝදජනකයි
2.      පාළුව, තනිකම මග හරවා ගැනීමට
3.      පහසුවෙන් සන්නිවේදනය කළ හැකිය
4.      මුහුණට මුහුණ බලා කතා කළ නොහැකි දේ ඍජුවම දැනුම් දිය හැකිය
5.      බුද්ධිය බෙදාහදා ගත හැකිය
6.      සමාජයේ සිටින විවිධාකාර වු මිනිසුන් හදුනාගත හැකිය
7.      පැරණි මිතුරන් මෙන්ම අලුත් මිතුරු සමාජයක් බිහිකරගැනීමට අවස්ථාව උදා වේ
8.      නව තාක්ෂණික දැනුම පිළිබද වඩා හොද අවබෝධයක් ලැබීම
9.      සියල්ල කාර්යක්ෂමව සිදුකළ හැකිය.
10.  අඩු වියදමකින් Chat කළ හැකිය

අවාසි
1.      පෞද්ගලිකත්වයට හානි සිදු වේ.
2.      නොහිතන කරදරවලට මුහුණපෑමට සිදු වේ
3.      වෘත්තියට හානි සිදුවීමට ඉඩතිබේ
4.      විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු විය හැකිය
5.      අලසයෙකු බවට පත්වෙයි
6.      කාලය නාස්ති වෙයි
7.      වැඩි වේලාවක් එකතැන රැදිසිටීමට පුරුදු වීම නිසා රෝගියෙකු බවට පත්විය හැකිය
8.      ආරාක්ෂාකාරි බවින් තොරයි

තමන්ගේ අලුත් සහ පරණ මිතුරන් ෆේස්බුක් සාමාජිකයින් වී සිටියි නම් ඔවුන්ව ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි අතර ඔවුන් සමග අදහස් හුවමාරුකර ගත හැකිය. තමන්ට නුසුදුසු යැයි හැගෙන මිතුරන්ව ඕනෑම මොහොතක ඉවත්කළ හැකිය. ආදර සබදතා හා වෙනත් නව සබදතා ද ඉතාමත් පහසුවෙන් ගොඩනගා ගත හැකි මාධ්‍යකි. තම ෆේස්බුක් ගිණුම තුළ පුද්ගලිකත්වය තමන්ට කැමති ආකාරයකින් තබාගත හැකිය. සමාන අදහස් ඇති කණ්ඩායම් සමග එක්වීම තුළින් Like, Dislike, comments ආදි ක‍්‍රියාවලියන් තුළින් විනෝදයක් ලැබිය හැකිය. පාළුව චිත්ත පීඩාවන් ආදිය මගහරවාගත හැකිය. අඩු වියදමකින් දැන්වීම් කටයුතු සිදුකරගත හැකි භාවිතයට පහසු මාධ්‍යකි.

ෆේස්බුක් (facebook) හරහා සමාජීය වශයෙන් ද විශාල බලපෑමක් සිදුකළ හැකිය. එය විවිධාකාරයෙන් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට සහ ක‍්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් සිටියි. විසිරි ගිය නෑ හිතමිතුරන් එකතු කිරීමට ෆේස්බුක් සතුව පවතින හැකියාව ඉතා ඉහළය.

සමාජය තුළ ජනප්‍රිය සංස්කෘතිකාංගයන් ප්‍රචලිත කරවීමට ද ෆෙස්බුක් මගින් ප්‍රබල බලපෑමක් සිදුවේ. විවිධාකාර  පුද්ගලයා වෙත රැගෙන යන වාහකයක් ලෙස ෆේස්බුක් වෙබ් අඩවිය ක‍්‍රියාත්මක වේ.

දේශපාලන වශයෙන්ද ප්‍රබල බලපෑමක් ද ෆේස්බුක් හරහා සිදුකළ හැකිය. ලොව පුරාම සිටින බොහෝ දේශපාලනඥයන් පිරිසක් තම දේශපාලන ව්‍යාපාරය සාර්ථක කරගැනීම සදහා ඉතාමත් ශක්ති සම්පන්න ක‍්‍රමයක් ලෙස ෆේස්බුක් යොදාගනිමින් සිටියි. පුද්ගලයින් අන්‍යෝනය ලෙස අවබෝධයෙන් ක‍්‍රියාකිරීමට සහ ඔවුන්ගේ අදහස් දැනගැනීමට ෆේස්බුක් ඉතා ශක්ති සම්පන්න ක‍්‍රමයක් බව ඔවුන්ගේ අදහසයි. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මිලියනයකට වැඩි පුද්ගලයින් ප්‍රමාණයක් දේශපාලන කටයුතු සදහා ෆේස්බුක් යොදාගනිමින් සිටියි.

ෆේස්බුක් සම්බන්ධයෙන් විවේචනාත්මක පැතිකඩක් ද පවතියි. විවිධ හේතු පදනම් කරගෙන රටවල් කිහිපයක් තුළම ෆේස්බුක් තහනමකට ලක්කර ඇත. එම රටවල් අතර චීනය, වියට්නාමය, ඉරානය, උපපකිස්ථානය, පකිස්ථානය, සිරියාව, බංගලාදේශය යන රටවල් මූලික වෙයි. මෙම රටවල් අතරින් බහුතරයක් රටවල් තුළ ෆේස්බකු තහනම් කරන ලද්දේ එම වෙබ් අඩවිය ඉස්ලාම් ආගමට එරෙහිව විරෝධී ආකල්ප ප්‍රචාරය කරයි යන මතය පදනම් කරගෙනය. යන මතභේදයට තුඩුදුන් දෙයට ප්‍රතිචාර ලෙස පකිස්ථානයේ ෆේස්බුක් තහනම් කරන ලදි. පසුව එම රට තුළ ඉස්ලාම් භාෂාවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කළ අතර එය නම් විය.

ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තොරතුරු වල පවතින ආරක්ෂාව පිළිබදව ගැටලු මතුවීම හේතුවෙන් ද ෆේස්බුක් වෙබ් අඩවිය කෙරෙහි අයහපත් ආකල්පයක් නිර්මාණය වී ඇත. භාවිතකරන්නන්ගේ තොරතුරු වල ආරක්ෂාව පිළිබදව ගැටලු මතුවීම හේතුවෙන් ෂුකර්බර්ග්ට වරක් තම ෆේස්බුක් සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලීමට ද සිදුවිය.

බොහෝ පුද්ගලයින් පිරිසකගේ පෞද්ගලික ජීවිතය තුළ අවුල් වියවුල් ඇතිකිරීම කෙරෙහි ද ෆේස්බුක් ප්‍රබල බලපෑමක් සිදුකර ඇත.

සුහද සබදතා ගොඩනගා ගැනීම සදහා භාවිතා කරනු ලබන මෙම නව මාධ්‍යම වර්තමාන සමාජය තුළ දූෂණ මිනිමැරුම් ආදිය ද ඇතිකරලීමට හේතුකාරක වී ඇත. බ්‍රිතාන්‍ය ඩේලිමිලර් පුවත්පත වාර්තා කර ඇති පරිදි එරට පොලිසියට සෑම මිනිත්තු 40 කට වරක්ම ෆේස්බුක් හා සම්බන්ධ අපරාධයක් වාර්තා වන බව සොයාගෙන ඇත. කාලය විශාල ලෙස අපතේ හැරීමක් ද මේ හරහා සිදුවේ. කාර්යාල වල සේවකයින්ගේ කාලය ෆේස්බුක් සදහා යෙදවීම හේතුකොට ගෙන ද ෆේස්බුක් තහනමට ලක් වී ඇත.

මෙවැනි තත්ත්වයක් පැවතිය ද ෆේස්බුක් හී ජනප්‍රියත්වය බිදහෙලීමට නොහැකි වී ඇත. එය භාෂා කිහිපයකින්ම ඉදිරිපත් වී ඇති මිත‍්‍රශීලි වේබ් අඩවියකි.

ෆේස්බුක් වෙබ් අඩවිය තුළ මිලියන 800කට වැඩි ක‍්‍රියාකාරී සාමාජිකයින් පිරිසක් සිටියි. එමෙන්ම ක‍්‍රියාකාරී සාමාජිකයින්ගෙන් 60%ක් පමණ දිනපතාම මෙම වෙබ් අඩවිය වෙත ඇතුල් (log) වෙයි. මිලියන 85 කට වැඩි පිරිසක් දිනපතා තම තත්ත්වය නවීකරණය කරනු ලබයි. සෑම සතියකම බිලියන 8කට වැඩි පිරිසක් ඡායාරූප(photo), වීඩියෝ (video) , බ්ලොග්ස් (Blogs) ආදිය හුවමාරු (share)කරගනු ලබයි. මසකට සිදුවීම් (events) මිලියන 4.5 කට වඩා නිර්මාණය වේ. මිලියන 4කට වඩා වැඩි ක‍්‍රියාකාරි පිටු(pages)  නිර්මාණය වේ. මිලියන 2 කට වැඩි දේශීය ව්‍යාපාර පිටු ෆේස්බුක් වෙබ් අඩවිය තුළ පවතියි. එමෙන්ම මිලියන 20 කට වැඩි පිරිසක් එම පිටු තුළ රසිකයන් බවට පත් වී ඇත. සාමාන්‍යෙයන් එක් අයෙකුට මිතුරන් 130 කට වැඩි ප්‍රමාණයක් සිටින බව හදුනාගත හැකිය. 

එමෙන්ම එක් භාවිතකරුවෙක් මසකට ඉල්ලීම් (Request) 10 ක් පමණ යොමුකරනු ලැබේ. සාමාන්‍යයෙන් එක් භාවිතකරුවෙක් දවසකට විනාඩි 55 ක් පමණ ෆේස්බුක් තුළ ගත කරන බව හදුනාගත හැක. එමෙන්ම එක් අයෙකු මසකට ප්‍රතිචාර (comments) 25 ක් පමණ දමති. සාමාන්‍යයෙන් එක් භාවිතකරුවෙක් මසකට ෆේස්බුක් පිටු 04 ක පමණ සාමාජිකයෙකු බවට පත්වේ. එමෙන්ම එක් භාවිතකරුවෙකුට මසකට Events 5 කට වත් ආරාධනා ලැබෙන බව හදුනාගත හැකිය.  සාමාන්‍යයෙන් එක් සාමාජිකයෙකු කණ්ඩායම් 13 පමණ සාමාජිකයින් වේ. එමෙන්ම 70% කට වඩා වැඩි ෆේස්බුක්  සාමාජිකයින්  පිරිසක් ඇමෙරිකාවෙන් පිටත අය වේ. ලක්ෂ 5 කට වැඩි  පිරිසක් Translation Application යොදාගෙන පරිවර්ථන කටයුතු සිදුකරනු ලබයි. සෑම මසකම 70% කට වඩා වැඩි පිරිසක් Platform Application යොදාගනු ලබයි. එමෙන්ම මිලියන 2.5 ක පමණ භාවිතකරුවන් මසකට Application 300 කට වඩා භාවිතකරනු ලබයි. සෑම මසකම මිලියන 150 කට වැඩි පිරිසක් බාහිර වෙබ් අඩවි හරහා ෆේස්බුක් හා සම්බන්ධ වේ. එමෙන්ම රටවල් 60-80 කට වැඩි ජංගම ක‍්‍රියාකරුවන් ෆේස්බුක් ජංගම නිෂ්පාදන ප්‍රවර්ධනය කරනු ලබයි.

2011 පෙබරවාරි 22 වන දින ඊජිප්තුවේ බබෙකුට ෆේස්බුක් (Facebook)යනුවෙන් නම් තබා ඇත. 2011 මැයි මස 16 ඊශ%dයලයේ යුවළක් තම දියණියට like යනුවෙන් නම් තබා ඇත.

ෆේස්බුක් වෙබ් අඩවිය වෙත එන සෙනගට ලැබෙන්නේ එක තැන පල්වෙන වෙබ් අඩවියක් නොවේ. ෆේස්බුක් යනු නොයෙක් විශේෂාංග නිතිපතා එක්කෙරෙන  වෙබ් අඩවියකි. ඒ සියල්ලෙන් මහජන සිත්සතන් සනසාලීමට මේ කාර්ය මණ්ඩලය වෙහෙසෙති. ෆේස්බුක් යනු දැවැන්ත තොරතුරු සමුදායක් හසුරුවන වෙබ් අඩවියකි. භාෂා 70 කින් ක‍්‍රියාත්මක වන ෆේස්බුක් වෙබ් අඩවිය වෙත සෑම මසකම එහි සාමාජිකයින් එක් කරන විවිධ ටෙක්ස්ට් ලයින්ස් (text lines) ගණන බිලියන 25කි. සතියකට එක්වෙන අලුත් Images ගණන බිලියනයකි. සෑම මසකම එකතු කෙරෙන වීඩියෝ ක්ලිප්ස් ^video clips) ගණන මිලියන 20 කි. භාෂා 70 කින් මේ වෙබ් අඩවිය ඉදිරිපත් කිරීම සුළුපටු නැත. අනෙක් වෙබ් අඩවිවලට නැති විශේෂ ගුණාංගයක් ද ෆේස්බුක් සතුව තිබේ. එනම් නිතර නිතර ලොග් වෙන විට, ලොග්වීමට ගන්නා කාලය එන්න එන්නම අඩු කිරීමේ තාක්ෂණය යි. ඒ නිසා ෆේස්බුක්හි යාවජීව සාමාජිකයින්ට අන් කවර වෙබ් අඩවියකටත් වඩා ඉක්මනින් ෆේස්බුක් වෙත යා හැක.

යම් වෙබ් අඩවියක් වෙත මහජනයාගේ සිත ඇදි යන්නේ එහි තිබෙන විශේෂාංග නිසාම පමණක් නොවේ. එහි මෝස්තරය ද ඉතා වටනේය. ෆේස්බුක් මෝස්තරය, එහි විශේෂාංග ඉදිරිපත් කරන පිළිවෙල සහ එහි වර්ණ භාවිතය ද ලොව ඕනෑම සංස්කෘතියක් අත්විදින්නෙකුගේ සිතට කා වදින එකක් බව පොදුවේ පිළිගැනේ. අනෙක් අතට නූතන ලෝකයේ ඕනෑඑපාකම් දෙස බලා එයට විශේෂාංග එක් කරන බව ෆේස්බුක්හි ප්‍රධාන ඉංජිනේරු ජෝෂ් වයිස්මාන් කියයි. හිත මිතුරුකම් හදාගන්නට ඉඩක් දීම මිස වෙන කිසිවක් නොකොටත්,ලෝකයාගෙන් කෝටි පනහකගේ සිත් අල්ලා ගෙන සිටීමේ වාසනා ගුණයේ සාරය තිබෙන්නේ මේ එකම තාලයකට නමුත් නිතරම වෙනස්කරන ෆේස්බුක් වෙබ් අඩවි සැලසුමේය.

මේ සියල්ලෙන්ම සාක්ෂි සපයන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය මුළු ලෝකයාගේම ආදරය, අවධානය දිනාගෙන ඇති බවයි. ඒ අනුව සුවිශාල යැයි අප සිතන ලෝකයේ පවතින සීමා බාධක අතික‍්‍රමණය කිරීමට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සමත් වී ඇති බව පැහැදිලිය. ඒ අනුව ෆේස්බුක් සමග එකතු වී මුළු ලෝකයම සමග සන්නිවේදනය කිරීමේ අවස්ථාව උදාකර ගත හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ

1. කරුණානන්ද අශෝක, (1994) අන්තර්ජාලය හා එහි ප්‍රයෝජන,තරංග ප්‍රකාශකයෝ
2. මධුභාෂිණි, ජී.ටී. (2008) අන්තර්ජාලය හා සංවර්ධනය, තරංග ප්‍රකාශකයෝ ,මුදුන්ගොඩ
3. අලහකෝන් නිලන්ත (2010) ෆේස්බුක්, විජය පරිගණකය 13 වන වෙළුම 7 වන කලාපය
4.මාර්ක් ෂුකර්බර්ග් (2011) ගෝ සගරාව
 වෙබ් අඩවි
1.   facebook.http://en.wikipedia.org.
2. social networking service.http://www.wikipedia.
3.   Top is most popular social networking sites, 2014 http://www.ebizmaba.com.

ඊ.ඒ.එස්.එන්.එදිරිසිංහ
AR/64778
AF/09/6476




















































































1 comment: